ජීවන බර අඩු කිරීමට අපි දැනටමත් සාකච්ඡා කරනවා

157

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ නාවලපිටියේදී කියයි

අපි එක්ව වැඩ කරමු. අනිත් ඔක්කොම දෙවනුව අපිට විසඳන්න පුළුවන්.


“ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා..” යැයි හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “එක්ව නැගිටිමු” යන තේමාව යටතේ සංවිධානය කෙරෙන ජනහමු මාලාවේ දෙවැන්න ඊයේ (16 වැනිදා) නාවලිපිටිය පැවැති අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් කතා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

“එකමුතුව අපි වැඩකළොත් අපිට හොඳ අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහයෝගය ලබාදෙනවා. මේ රට ඉදිරියටම අරන් යන්න ඕන. ඒ සඳහා අපි එක්ව වැඩ කරමු. අනිත් ඔක්කොම දෙවනුව අපිට විසඳන්න පුළුවන් වේවි.

“විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෑ. ඔවුන් තමයි රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් යොමුකරන්න අවශ්‍යයි.

ඇතැම් තීන්දු කොතරම් දුෂ්කරතා මැද්දේ වුණත් ජනතාවට වාසිසහගත ලෙස තබාගන්නත් අපිට හැකිවුණයි කියලා මතක් කරන්න ඕනෑ. අපි අද නාවලපිටියේදී ඔබ හමුවෙලා “අපි එක්ව නැගිටිමුයි කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා. කෘෂිකර්මාන්තය වේවා සංචාරක ව්‍යාපාරය වේවා තේ හෝ රබර් කර්මාන්තය වේවා වෙනත් කර්මාන්ත වේවා වෙන ඕනෑම වෘත්තියක් හෝ වේවා විදේශගත ලාංකිකයන් වේවා දේශපාලනඥයන් වේවා සියලුදෙනාට අද අවස්ථාව තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අන්න ඒ වෙනුවෙන් අපි පෙළ ගැසෙන්න ඕනෑ. නාවලපිටියේ මේ ජනතාව ඓතිහාසක තීන්දුවේ පංගුකාරයන් වන බව අපට දැඩි විශ්වාසයක් තියෙනවා. ඔබේ ශක්තිය අපට දෙන්න කියලා ඉල්ලීම ඉදිරිපත් කරමින් මේ අවස්ථාව සංවිධානය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ මේ සඳහා සහයෝගය ලබාදුන් අපේ පක්‍ෂයේ සියලුදෙනාටත් අපේ ප්‍රණාමය පුදකරමින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නවතිනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසක් මෙහිදී කතා කළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නාලක රත්නායක සහ සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment