ජීවය ඇති එකම ග්‍රහලොව මිහිතලය රැකගනිමු

833

ලෝක පරිසර දිනය

ජගත් පරිසර දිනයට වසර 49යි

ප්‍රථම පරිසර සමුළුවට වසර 50යි

ජාත්‍යන්තර පරිසර දිනය අදට (ජුනි 05) යෙදී තිබේ. මෙවර එහි තේමාව Only One Earth – “එකම මිහිතලයක්” යන්නය. මෙවර සැමරුමට ලක්වන්නේ 49 වැනි ජගත් පරිසර දිනයයි. එනම්, එක්සත් ජාතීන්ගේ පරිසර දින සැමරුම 1973 දී සමාරම්භ කෙරෙන අතර ඊට අදාළ පරිසර සමුළුව (මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව – UNCHE) මුළුදෙන්නේ 1972 වසරේදීය. එම සමුළුවේ 50 වැනි සංවත්සරයද (Stockholm+50) මේ සමග යෙදෙන අතර, ස්වීඩනයේදී එම සැමරුමද මේ අවස්තාවේදී සිදුකෙරේ. පරිසරය

සුරැකීම සඳහාත්, පාරිසරික සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී අනුගමනය කළ යුතු විධි ක්‍රම පිළිබඳවත් ලෝක අවධානය යොමුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මගින් 1972 දී පැවති පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ එම ප්‍රථම සම්මේලනය ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වූ අතර, එහිදී මානව පරිසරය පිළිබඳ ප්‍රකාශනය එළිදක්වන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1973 වසරේ සිට සෑම වසරකම ජුනි මස 05 වැනිදා දිනය ජගත් පරිසර දිනය (World Environment Day) ලෙස නම් කරන්නට යෙදිණි.

1972 වසරේ පටන් අවස්ථා ගණනාවකදී ලෝක මට්ටමෙන් සමුළු – සන්ධාන පවත්වා ලෝක පරිසරය සුරක්ෂිත කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළේය. ඒ අනුව තවත් වැදගත් සමුළුවක් 1982 දී වසර 10 කට පසු කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන අතර, 1983 වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සිදුකරන ලද 38/161 යෝජනා සම්මතය පරිදි වසර “2000 සහ ඉන් ඔබ්බට පරිසර දැක්ම සකස් කිරීමේ ක්‍රියාවලිය” සඳහා ධරණීය සංවර්ධනය පිළිබඳ කොමිසම් සභාවක් (බෘන්ඩ්ලන්ඩ් කොමිසම) 1983 දී ඇතිකර, එම කොමිසමේ වාර්තාව “අපේ පොදු අනාගතය” මැයෙන් 1987 දී එළි දක්වන ලදී. අනතුරුව 1992 දී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හිදී ප්‍රථම මිහිතල සමුළුව (Rio Summit / Earth Summit) පැවැත්වෙන අතර, එහිදී “21 වැනි සියවස සඳහා පරිසරය හා සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රය” ප්‍රකාශයට පත්කිරීම සිදුවිය. එහිදී මෙම “අපේ පොදු අනාගතය” වාර්තාව ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළේය.

එතැන් පටන් යළිත් ලෝක මට්ටමෙන් පරිසරය ගැන කතාකරන්නේ තවත් දසකයක් ඉකුත්ව ගිය පසුවය. ඒ 2002 දීය. රියෝ දස (Rio + 10) වසර ලෙස හැඳින්වෙන මෙය, තවත් මිහිතල සමුළුවක් නොව ධරණීය සංවර්ධන සංකල්පයටම සිදුකරන ලබන නව පණදීමක් ලෙස හඳුන්වාදෙමින් එක්සත් ජාතීන් විසින් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පවත්වන්නට යෙදිණි. මිහිතල උණුසුම, දේශගුණික විපර්යාස හමුවේ ලෝකය මුහුණ දෙන අර්බුද හා ඉන් ගැලවෙන අයුරු පිළිබඳව මෙම සමුළුවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ලද අතර, දුප්පත්කම තුරන් කිරීම, ඒක පුද්ගල ආදායම ඉහළ දැමීම, ආහාර, පානීය ජලය සපුරා ගැනීම, ජෛව විවිධත්වය සුරැකීම, වැනි පෘතුල මාතෘකා රැසක් මෙහිදී කතාබහට ලක්කෙරිණි.

අනතුරුව 2000 වසරේදී හේග් නුවරදී, 2002 වසරේදී නවදිල්ලියේදී ආදී වශයෙන් ඉන් අනතුරුව පරිසර කතන්දර චාරිකාව බොහෝ විට දේශගුණික විපර්යාශ, ස්වභාවික ආපදා, දේශගුණික අනාථයෝ වැනි මාතෘකාවලට ලඝු වෙමින් ඉදිරියට ඇදිණි. 2012 වසරේ නැවතත් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේදී රියෝ ආරම්භක සමුළුවේ 20 වැනි සංවත්සරය (Rio + 20) රියෝ විසි වසර, නොහොත් පරිසරය සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව මැයෙන් පවත්වන්නට යෙදිණි. අනතුරුව 2015 දී වැදගත් සන්ධිස්ථානයකට ලෝකය පැමිණෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරදීය. ඒ එහිදී මුළුදුන් දේශගුණික සමුළුවේ 11 වැනි පාර්ශ්වකරුවන්ගේ සහ රියෝ සමුළුවේ 21 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුවේදීය. ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවල් 196 ක් පමණ අත්සන් තබන ලද පැරිස් සම්මුතිය වන මෙහිදී තිරසර ඉලක්ක 17 ක් හා අරමුණු 169 ක් ඔස්සේ ඒ ඒ රටවල් විසින් සංවර්ධන ඉලක්ක ජයගෙන ලෝකයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා කටයුතු කළ යුතු වේ. එය 2021 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී පැවති පාර්ශවකරුවන්ගේ සමුළුවේදි නැවත තහවුරු කෙරිණි. එනම්, 1990-2100 කාලය තුළ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.4-5.8 අගයකින් ඉහළ යා හැකි බවට පෙන්නුම් කරන අතර, එම කාලය තුළදී මුහුදු මට්ටම සෙන්ටිමීටර් 9.88 කින් ඉහළ යා හැකි බව අනුමාන කරනු ලැබේ. එබැවින් මේ නිසා ලෝකය දැවැන්ත අවුලකට පත්වීම වැළැක්වීමේ පියවර ලෙස ගෝලීය උෂ්ණත්ව වැඩිවීම පාලනය කර මුහුදු මට්ටම ඉහළ යෑම වැළැක්වීම සඳහා ඉහත තිරසර ඉලක්ක හා අරමුණුවලට එකඟතාව පළකර පැරිස් සම්මුතියට අත්සන් තබන ලදී. පැරිස් සමුළුවේ දී රාජ්‍ය නායකයන් විසින් මේ ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය මීට අවුරුදු 150 කට පෙර තිබූ මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 3-4 කටත් වඩා ඉහළ යන බව පිළිගනු ලැබූහ. එසේ වුවහොත් දේශගුණය වෙනස් වන බවත් එමගින් වගාබිම් විනාශ වී, ලොවට මහා දුර්භික්ෂයකට මුහුණ දෙන්න සිදුවන බවත් එම නිසා ලෝකයේ වාසය කරන බහුතරයක් දුප්පත් ජනතාවට ජලය නොමැතිව, කෑම බීම නොමැතිව මියයෑමට සිදුවන බවත් අවධාරණය කරන ලදී.

දැනටමත් ලෝකයේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 1850 වසරට වඩා 50% පමණ හා වායුගෝලයේ උෂ්ණත්වය මේ වනවිට සෙන්ටිග්‍රෙඩ් අංශක 1 කින් දැනටමත් ඉහළ ගොස් ඇති බව දේශගුණික විපර්යාසය පිළිබඳ කටයුතු කළ ජගත් විද්වත් එකමුතුව සිය පස්වන ඇගයීම් වාර්තාව මඟින් ලොවට දැනුම් දුන්නේය. දැනටමත් අහසට මුදා හැර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා තවත් අංශක එකකින් පමණ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම නැවැත්වීමට නොහැකි බවද, මේ යන අයුරින් ඉදිරියේදීත් ක්‍රියා කළහොත් මේ ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රෙඩ් අංශක 3 කටත් වඩා ඉහළ යා හැකි අතර, වසර 2300 වන විට මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 12 කින් වුව ද ඉහළ යා හැකි බව ඔවුහු කියා සිටිති. මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2 වඩා වැඩි වුවහොත් වගාබිම් විනාශ වී මහා දුර්භික්ෂයකට මුහුණදීමට සිදුවන බවත් ඒ නිසා ලෝකයේ වාසය කරන බහුතරයක් දුප්පත් ජනතාවට පානීය ජලය හා ආහාර නැතිව මියයෑමට සිදුවෙන බවත් විද්‍යාඥයන් මේ වාර්තාවෙන් අනතුරු අඟවා සිටියහ. මේ අනුව සෑම සාමාජික රටක් විසින්ම පැරිස් සම්මුතිය අනුව තිරසර අරමුණු හා ඉලක්ක ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී.

මේ වන විට ක්‍රියාත්මක වන්නේ හා ලෝකයේ අවධානය දිනාගෙන සිටින්නේ මෙසේ පැරිස් සම්මුතිය අනුව එකඟතාවට පත්ව ඇති සංවර්ධන ඉලක්ක හා අරමුණුය. ඒ අනුව හරිත ගමන් මාර්ගයක ලෝකය ගමන් කරමින් තම සංවර්ධනය ඉටුකර ගතයුතු වේ. නමුත් සැබෑව නම්, මෙම පාර්ශ්වකරුවන් විසින් (එනම් එක් එක් රටවල් විසින්) අවංකවම මේ සඳහා කැපවෙන්නේද යන්නය.

වනගහනය ආරක්ෂා කරගැනීම, ජෛව විවිධත්වය සුරැකීම, හරිත බලශක්තිය, ඇතුළු පරිසර සංරක්ෂණ කාරණා ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේදී රටවල් පැරිස් සම්මුතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන අතර ඒ ඒ පාලක කාරකාදීහු විසින් රටවල සම්පත් දැඩි ලෙස අවභාවිත කරමින් කටයුතු කිරීම නිසා පැහැදිලිවම එම රටේ, ප්‍රදේශයේ ජනතාව අසාධාරණයට ලක්කෙරෙති. අද ශ්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්ෂණයෙන්ද ඒ බව මනාව පසක් වේ. රටේ පාලකයන් ලෝකෙට පරකාසේ….ගෙදරට මරගාතේ….ප්‍රතිපත්තියක් අනුගමනය කරනු මිස පරිසර සංරක්ෂණය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉතා අල්පය. විල්පත්තු උතුරු වන විනාශය, මේ දිනවල සිදුකරමින් පවතින මොණරාගල වත්තේගම-කැබිලිත්ත වන විනාශය, අක්කර 65,000 ක බිබිල ඇකිරියන්කුඹුර ඖෂධ වනාන්තර සිංගප්පූරුවේ ගැසල් වෙන්චස් සමාගමට ලබාදීමට කටයුතු කිරීම, මුතුරාජවෙල අභයභූමිය කොටස්කර ඉඩම් වෙන්දේසියට ඉඩදීම වැනි දහසකුත් පාරිසරික අර්බුද නිදසුන් ලෙස ගනිමින් අද ජගත් පරිසර දිනයේදී ඒ බවද අප අවධාරණය කළ යුතු අතරම, පරිසරය සඳහා ලබාදෙන ලෝක අවධානය වෙනුවෙන් ජගත් පරිසර දිනය අප අප විසින් තනි තනිව හෝ එක්ව සැමරුමට ලක්කිරීම අතිශය අවශ්‍ය කාරණයකි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලෝක ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයද දැඩි පසුබෑමකට ලක්වූ බව සැබෑවක් නමුදු, කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝක පාරිසරික තත්ත්වය ධනාත්මක වර්ධනයක් සඳහා එය ඉතා ඉහළින් බලපෑවේය. එසේම, අද ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ආර්ථික කඩාවැටීම හේතුවෙන් මෙතෙක් ක්‍රමිකව නැගී ආ පාරිසරික ප්‍රමිතියද දැඩිව කඩාවැටෙමින් පවතින බවක් පෙන්නුම් කරන අතර මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් මෙතෙක් අපහසුවෙන් ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ පරිසර සාඵල්‍යතාව දරුණු කඩාවැටීමකට ලක්වනු ඇති බවද කිව යුතුව තිබේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment