ජීවිතය දුන් ඇයම ජීවිත ඩැහැගත්තාය

1121

අම්මා යනු දරුවන්ට ජීවිතය දෙන්නිය මිසක ජීවිත ඩැහැගන්නියක නොවේ. එහෙත් මේ අම්මා ඇගේ දරුවන්ට ඇයම දුන් ජීවිත යළි උදුරා ගත්තාය. මේ ඔක්තෝබර් 26 වැනිදා ඉතාලියේ වෙරෝනා නගරය ලෝකයට ගෙන ආවේ එවැනි අවාසනාවන්ත කතාවකි.

මේ කියන ”අම්මා” ලංකාවේ සිට ඉතාලියේ වෙරෝනා නගරයට පදිංචියට ගිය තිස්තුන් හැවිරිදි සචිත‍්‍රා නිසංසලා ප‍්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ ය. ඇයට දියණියන් දෙදෙනෙකි. ඒ තුන් හැවිරිදි සබදි හා එකොළොස් හැවිරිදි සදනි ය. සබදිගේත් සදනිගේත් තාත්තා ඔවුන් සමග සිටියේ නැත. ඔහු තම පවුලෙන් වෙන්ව විසුවේය.

නිසංසලාත්, මේ දරු දෙදෙනාගේ පියා හෙවත් ඇගේ සැමියාත් අතර බොහෝ කලක සිට ආරවුල් පැවතිණ. අවසානයේදී ඔවුන් දෙදෙනා වෙන් වූ අතර, උසාවි නියෝගයකින් දරු දෙදෙනාගේ භාරකාරත්වය පැවරුණේ දරුවන්ගේ මවට හෙවත් නිසංසලාටය. දැරියන් දෙදෙනාගේ තාත්තාට දැරියන් බලන්නටවත් නිසංසලා ඉඩ දුන්නේ නැත.

”දරුවො දෙන්න එයාට දෙනවට වැඩිය හොඳයි, දරු දෙන්නවත් මරල, මමත් මැරෙනවා..” නිසංසලා තම හිතවත් අයට කීවේ ඒ අයුරිනි.

දරුවන් දෙදෙනා පියාගේ භාරයෙන් වෙන්කොට මවට භාර දීමෙන් පසුව, පසුගිය ජනවාරි මාසයේ පටන් මේ මවත් දියණියන් දෙදෙනාත් නැවතී සිටියේ වෙරෝනා මහ නගර සභාවෙන් පාලනය වන තාවකාලික රැඳවුම් නිවහනක ය.

ඔක්තෝබර් 26 වැනිදා උදෑසන, නිසංසලා තම සමාජ සේවිකාවට දුරකථනයෙන් කතා කළාය.

”දරුවො දෙන්නට ටිකක් උණ වගේ තියෙනවා. අද මං ඒ දෙන්නව ඉස්කෝලෙ යවන්නෙ නෑ. බෙහෙත් ටිකක් දීල නිදාගන්න දෙනවා. මට බෙහෙත් මොනව හරි එවන්න..” ඇය සමාජ සේවිකාවට කීවාය.

තවත් ටික වෙලාවකට පසුව, නිසංසලා සහ දැරියන් දෙදෙනා උන් කාමරය වෙත ගිය රැඳවුම් නිවහනේ සමාජ සේවිකාව දුටුවේ දැරියන් දෙදෙනා සයනයෙහි නිදා සිටින අයුරුය. ඔවුන් දෙදෙනාගේ සිරුරු පොරෝනාවෙන් ආවරණය කොට තිබිණ. නාන කාමරයේ විදුලි බුබුළ දැල්වෙමින් තිබුණු නිසා සමාජ සේවිකාව සිතුවේ දැරියන් දෙදෙනාගේ මව නාන කාමරයේ සිටින බවකි. සමාජ සේවිකාව ආපසු ගියාය. ඇය ආපසු මේ කුටිය වෙතට පැමිණ මඳ වෙලාවක් බලා සිටියාය. සෑහෙන වෙලාවක් යන තුරු කාමරයෙන් පිටතට කිසිවකුත් පැමිණියේ නැත. ඇය යළිත් කාමරය තුළට ගොස් බලන විට දරු දෙදෙනා පෙර උන් ඉරියව්වෙන්ම නිදා සිටිනු පෙනිණ. ඔවුන් පරික්ෂා කර බැලූ සමාජ සේවිකාව දුටුවේ දරු දෙදෙනාගේ හුස්ම නොවැටෙන බවය. සමාජ සේවිකාව උදව් ඉල්ලා පිරිස කැඳවූ නමුත් ඒ වෙන විටත් දරු දෙදෙනා ජීවිතයෙන් සමුගෙන තිබිණ.

දැරියන්ගේ මව, නිසංසලා පෙනෙන්නට සිටියේ නැත. පොලිසියත්, අදාළ අනෙක් නිලධාරීනුත් කොතරම් සෙව්වත් ඇය පිළිබඳ හෝඩුවාවක්වත් සොයාගන්නට නොහැකි තැන, 26 වැනිදා සන්ධ්‍යා කාලය වනවිට ඇය සොයන්නට හැකි සියලූම විධි විධාන යොදවා තිබිණ. දැරියන් දෙදෙනාගේ මව සොයන්නට පොලිස් කණ්ඩායම්, ගිනි නිවන හමුදාවන් මෙන්ම පොලිස් සුනඛයන්ද යොදවනු ලැබිණ. ඒ අතරම මේ කාන්තාව පිළිබඳ යම් තොරතුරක් ලැබුණොත් වහාම දන්වන මෙන් එරට වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව වෙත ද දැනුම්දීමක් කර තිබිණ.

මේ අතර, දැරියන් දෙදෙනාගේ පියා තම දියණියන්ගේ මරණය පිළිබඳව දැනගන්නේ, පියෙකුට එවන් දෙයක් දැනගන්නට ලැබෙන නරකම ආකාරයටය. ඔහුට එය දැනුම් දෙන්නේ ඔහුගේ සේවායෝජකයා විසිනි. ඒ මේ ඝාතන පිළිබඳව පළවූ වෙබ් අඩවි පුවතක ”ස්ක‍්‍රීන්ෂොට්” ඔහුට යැවීමෙනි.

තමන්ගේ බිරිඳ නිතරම තමා ගැන වෛරයෙන් පසුවූ බවත්, දරුවන් තමාගේ පවුලේ උදවිය අයිති කරගනීවි යැයි සැකයෙන් පසුවුණු බවත්, ඇයට මානසික ව්‍යාධි තත්ත්වයක් තිබුණු බවත් නිසංසලාගේ සැමියා වූ රුවන් කිරිවැල්ලගේ ප‍්‍රකාශ කළේය. තම දරු දෙදෙනාගේ හදිසි මරණයෙන් ඔහු බෙහෙවින් කම්පාවට පත්ව සිටියේය.

නිසංසලා දරු දෙදෙනා මරා දමා පැන යන්නට ඇතැයි සැක පළ කෙරුණු අතර, බොහෝ දුරට ඇය ද සියදිවි හානි කරගෙන තිබෙන්නට ඉඩ ඇතැයි පොලිසිය සැක කළේය. පුළුල්ව ක‍්‍රියාත්මක කෙරුණු සෝදිසි මෙහෙයුම අතරතුර, 27 වැනිදා සවස, ඔවුන්ගේ නිවසට කෙටි දුරකින් ඇති ගං ඉවුරේ තිබී මෙම කාන්තාවට අයත් ජංගම දුරකථනය හා වෙනත් පෞද්ගලික භාණ්ඩ කිහිපයක් හමුවී තිබිණ. තවදුරටත් සෝදිසි ක‍්‍රියාත්මක කිරීමේදී, වෙරෝනාහි ලාසරටෝ පෙදෙසේ පැරණි වේල්ල අසලින් ඇගේ මළසිරුර හමුවී ඇත.

දරු දෙදෙනාවත් ඝාතනය කරමින් නිසංසලා සියදිවි නසාගත් හේතුව තවමත් නිශ්චිතවම පැහැදිලි නැත. කෘත‍්‍රීමව හුස්ම හිර කිරීමෙන් දරු දෙදෙනාගේ දිවි තොර කර ඇති බව මරණ පරීක්ෂණයෙන් ඔප්පු වූ අතර, එයින් පසුව දරු දෙදෙනාගේ මළ සිරුරු භූමදාන කිරීමට අවසර ලැබිණ. කෙසේ වුවත් මේ මළසිරුරු පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇත. මල් කැකුළු වන් සුන්දර දරු දෙදෙනකුගේ ජීවිත ද නිමාවට පත් කරමින්, තම ජීවිතය ද තොර කරගන්නට තරම් ඒ මව අසරණ වූයේ ඇයිදැයි නොබෝ දිනයකදීම අනාවරණය වනු ඇත.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment