ජීවිත විස්තරයම කේන්දරයේ සටහන් වෙලා තිබෙනවාද?

1427

මේ විශ්වයේ නැතිනම් අප ජීවත්වන ලෝකයේ සමහර විද්‍යාවන් දවසින් දවස දියුණුවෙමින් පවතිනවා. ඊට හේතු කාරක නැතුව නොවේ. මං හිතන්නේ බොහෝවිට අඩංගු විය යුතු අවංක දේ මුදලට, බලයට නැතිව යනවා. ඒ වගේම දහමට අනුව ජීවත්වීම නම් ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. අපේ බොහෝ අය කාලයත් සමඟ දුවනවා. කොහෙද දුවන්නෙ කියල වත් දන්නෙ නැහැ. ඒ කාලෙ අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුණාම හාව දිව්වා වගේ කරන්නම් වාලේ කරන අය එමටයි.

ජ්‍යොතිෂය සේවාවක් විදියට පැරැන්නෝ කළාට අද දවසේ ඒවා රක්‍ෂාවල් වෙලා. ඔක්කොම ව්‍යාපාර තත්ත්වයට වැටිලා. ඒක නිසාම සමහර ජ්‍යොතිර්වේදීන් පරිගණකයෙන් මයි ගුණාගුණ කියන්නේ. ජ්‍යොතිෂය කරන්නේ සතියේ දින 7 ට 9 තැනක ජ්‍යොතිෂ කඩ කාර්යාල ලංකාවෙ පිහිටුවලා. කොහොම කරනවද මන්දා. රිමෝට් එකෙන් පවත්වාගෙන යනවා වෙන්ට ඇති. කේන්දර 3 ක් මිලදී බැලුවොත් එකක් නොමිලේ බලනවලු. මේවා ටෙලි නාට්‍ය. මේ විදියට

ගියොත් හෙට දවසේ මිනීපෙට්ටි 02 ක් මිලදී ගත්තොත් 1 ක් නොමිලේ දේවිද දන්නෙ නැහැ. ඒ තරමටම රට ව්‍යාපාරිකව වෙනස් වෙලා. කිසිම හිරිකිතයක් නැතිව මුදල්ම සෙවීමට පත්වෙලා. මම නම් 03 ක් බැලුවත් 01 ක් බැලුවත් නොමිලේ බලන්නෙ නැහැ. මුදල් නැතිම නම් පමණක් මුදල් අයකරන්නෙත් නැහැ. ඒක එදා සිටම කරන එකක්. ඔය පරිගණකයෙන් කේන්දර පරීක්‍ෂා කරන අය විනාඩි 03 ක් වැනි පුංචි කාලයක් තුළ කොහොමද කෙනකුගේ ජීවිතය ගැන වගකීමෙන් යමක් කියන්නේ. ඔබලත් ටිකක් මේවා ගැන හිතන්න ඕනෑ. ඒ අය කරන්නෙ මුදල් ගැරීමක්. ඒ අයට ඕනෑ මුදල් විතරයි.

ඔය අය ඇයි ඒවාට රැවටෙන්නේ. එනිසා තමුන්ගේ ජීවිතයත් සමඟ සෙල්ලම් කළොත් පරදින්නෙ අපිමයි. කෙනෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වේලාවේ සිට මොලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම් හඳහනේ ලියා තිබෙනවා. තරු – ග්‍රහලෝක – ගැන හා ඒවායේ වෙනස්වීම්, විශ්වයේ පවතින තත්ත්වයන් ඉන් අපට සිදුවන යහපත. ඒ වගේම අයහපත මේකෙ ඇතුළත්. ඒක ඉතා ගැඹුරු විද්‍යාවක් එච්චර විශාල තොරතුරු රැසක් මේ පරිගණකයේ ඇතුළු කරන්නත් බැහැ. සමහර දේ වලට මේ පරිගණකය අපට උදව් කරන එක හැබෑව. එහි අපි ඇතුළත් කළ දත්ත විතරයි එළියට එන්නේ. මම පුංචිම උදාහරණයක් කියන්නම්කෝ. දරුවෙක් ඉපදුණු වෙලාව දොස්තර මහතා විසින් දුන්නම ඒක ඔහු හෝ ඇය ජ්‍යොතිර්වේදියාට දෙනවා. නමුත් ඒ වෙලාව දොස්තර මහත්මයාගේ අතේ තිබූ හෝ වාට්ටුවේ තිබූ ඔරලෝසුවේ වෙලාව මිස දවසේ නියම සූර්ය උදාවේ සිට වූ නියම වෙලාව නොවේ. සමහර අය දරුවා මෙලොවට ආ වෙලාව දෙනවා. සමහර අය දරුවා හැඬූ වෙලාව දෙනවා. ඒ නිසා පැරණි පාරම්පරික ජ්‍යොතිර්වේදියා චර, තිර, උභය හා තවත් කරුණු පරීක්‍ෂාවට ලක්කරල කියනවා, ඒ වෙලාවට උපදින්න ඕනෑ පිරිමි දරුවෙක් ද ගැහැනු දරුවෙක් ද එහෙමත් නැත්නම් සතෙක් ද බව. එහෙම ප්‍රකාශ කරල නියම කේන්දරය හදනවා. අපි මේ ක්‍රමයට කියනවා කේන්දරයක් සුද්ධ කරනවා කියලා. ඒ අනුව නියම ලග්නය – නවාංශකය – දසාංශකය නිවැරදිව හදල දෙනවා. ඒ අනුව හදන ජන්ම පත්‍රය තමයි ඉතාම නිවැරදි එක වන්නේ. නමුත් පරිගණකයෙන් හදනකොට ඔය එකක්වත් නැහැ. එහෙම කේන්දරයක් බලාගෙන කොහොමද නිවැරදි පලාපල කියන්නේ. මේ ආකාරයට කොම්පියුටරයෙන් හදන බොහෝ කේන්දරවල නවාංශකය වෙනස් වන්නේ ඒකයි. ලග්නයට වඩා නවාංශකයෙන් ගුණාගුණ කියන එක වඩා සූක්‍ෂ්මයි. වැරදි නවාංශක දුන්නොත් කොහොමද නිවැරදි පලාපලයක් කියන්නේ අපි මේවා ටිකක් වටහා ගත්තොත් හොඳයි.

ජ්‍යොතිර්වේදියාගේ දක්‍ෂකම තමයි රාශි 12 ක ඇතුළත් ග්‍රහයෝ නමදෙනකුගෙන් යුත් රූපසටහනක් බලාගෙන අතීතයත්, වර්තමානයත්, අනාගතයත් ගැන පලාපල කියන එක. මේක කරන්නෙ නැවැරදි කරුණු රාශියක් හිතේ තබාගෙන. මැණිකක් එක එක පැතිවලට හරව හරවා බලල කරුණු අවබෝධ කරගන්නා සේ හොඳට පරීක්‍ෂා කරල කරන්න ඕනෑ දෙයක්. එහෙම පරීක්‍ෂා කරලා ඊට හේතුවත්, කෙරිය යුතු පිළියමත් දන්වන්ට ඕනෑ. මේ ප්‍රතිඵලය දැන්වීමට ජ්‍යොතිෂයේ මූලික කරුණු, සිද්ධාන්ත, හෝරා, නැකැත්, තිථි ආදිය ගැන හොඳ දැනීමක් තිබෙන්න ඕනෑ.

කෙනකුගේ ලග්නය කිව්වෙ ජන්මියා මෙලොව උපදිනකොට නැඟෙනහිර සිතිජයෙන් උදාවුණ රාශියට. ඒ වටා රාශීන් 12 ක් ගමන් කරනවා. ඒ රාශීන්ට අයත් ග්‍රහලෝක 9 ක් පවතිනවා. ඒ ඒ ග්‍රහයන් එක එක රාශීන්ට වෙනස් විදියට බලපානවා. මේ එක රාශියක පරතරය අංශක 30 ක් වෙනවා. මේ සරල කරුණුවත් නොදත් සමහර අය ජ්‍යොතිෂය කරන බව මම වගකීමෙන් කියනවා. අපි හොඳට දන්න කරුණක් තමයි වර්තමානයට වඩා අතීතයේ සිටි ජ්‍යොතිර්වේදියා දක්‍ෂ බව. ඒ කිසිවකුත් පරිගණකය පාවිච්චි කළේ නැහැ. නමුත් පරිගණකයට වඩා සූක්‍ෂ්ම මොළේ පාවිච්චි කළා. ජ්‍යොතිෂ කරුණු – සිද්ධාන්ත දැනහිටියා. දැන් අය බොහෝදුරට ශාස්ත්‍රයට වඩා සූත්තරය පාවිච්චි කරනවා.

ඉස්සර සිට පැවතෙන කතාවක් තමයි ඕනෑම කෙනකුගේ හතර කේන්දරය පාළු නම් මහණ කම හැර වෙන කිසිවක් කරන්නට බැහැ කියන එක. ඒක ලොකුම මුසාවක්. හතර කේන්දරය පාළු එක මහණ යෝගයක් නොවේ. මහණ වෙන්න මහණ යෝග තිබෙන්න ඕනෑ. වැඩිපුරම මහණ යෝගය කිව්වේ කේන්දරයක 5-9 රාශි සම්බන්ධ කරගෙන බව දැනගන්න. කේන්දරයක ශනි – සඳු – සිකුරු. එකට හිටියොත් නැත්නම් යෝග වුණොත් බලවත් මහණ යෝගයක්. ඒකෙනුත් 4-7-9 පිහිටියොත් ඉතා බලවත් වෙනවා. මේවා යෝග පිහිටීම්.

අපේ සියලුම වගතුග මේ කේන්දරයේ සටහන් වෙලා තිබෙනව කියල කිව්වනේ. ඒක උදාහරණයක් සමඟ බලාගනිමු ද? උදාහරණයකට මේෂ ලග්නය ගනිමු.

මේ රූපයේ පෙනෙන අයුරු, ලග්නය අයිතිකාරයා අඟහරුවා. එයාට අයිති පළමු රාශිය හා 8 වැනි රාශිය. ඊළඟට සිකුරුට අයිති වන්නේ 2 වැනි හා 7 වැනි රාශි වෙනවා. බුධට අයිති වන්නේ 3 හා 6 වන අතර ගුරුට අයිති 9 හා 12 රාශියයි. සෙනසුරුට 10-11 රාශි වන අතර සඳුට හා රවිට 4 හා 5 රාශි අයිතිවනවා. මෙම පිහිටීම උඩ ඔබේ කේන්දරයට අනුව ඒ වෙලාවට බලපාන්නෙ කොහොමද කියලත් දැනගන්න ඕනෑ. එහෙනම් මේ ශ්ලෝකයට ආදේශ කර බලාගමු. ලග්න ස්ථානා – ධනස්ථානා – සහජ – බංදු- ප්‍රියඃ ශුතඃ – ශතෘ – කලත්‍රංච – මුත්‍රංච – ධර්ම – කර්ම – අයඃ- වැයඃ

ඔබේ තත්කාල කේන්දරයට අනුව මහ දශාව හා අතුරු දශාව ගෙවන්නෙ කාටද කියල බලාගෙන ඒ රාශියට ග්‍රහයාගේ බලපෑම බලාගෙන ප්‍රතිඵල දැනගන්න. ඒ වගේම උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම මත ලැබෙන්නෙ නියත ප්‍රතිඵල වුණාට තත්කාල කේන්දරයට අනුව අනියත ග්‍රහ බලපෑම් ද ඇතිවනවා. ඔය අඟහරුවා තත්කාල කේන්දරයේ 6-9 වැනි රාශිවලට හෝ 11 වැනි රාශියේ නපුරට පිහිටියොත් ඒ පිහිටීම ජන්ම කේන්දරයේ නොපෙන්නුවත් අනියත ලේ ගැලීමක් හෝ තුවාලවීමක් සිදුවනවා. ඒ වගේම රවි තත්කාල කේන්දරයේ නපුරට පිහිටියොත් තත්ත්වය නරකයි. රවි ඔළුවේ ස්නායු වලට අධිපතියා. අංශභාගේ හදන්නෙ මෙයා.

ඔබගේ පුතා හෝ දුව පාසල් යන වයසේදී වැඩිපුරම අපොස විභාග ගන්නා කාලයට ගුරු මහ දශාවේ සිකුරු අතුරු හෝරාව ආවොත් කිසියම් ආදරබර ඇසුරක් ඇති කරලා ඉගෙනීම කඩනවා. කසාද බඳින වයසේ නම් සිකුරු මහ දශාවේ ගුරු අතුරු හෝරාව නම් ඉගෙනීම සම්බන්ධව මොකක් හරි ගෙනැල්ලා විවාහයට බාධා ඇති කරනවා. මේ දෙකටම පිළියම් හදනවිට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකද ගුරු ශුක්‍රෝ සදා වෛරඃ කියලයි ශ්ලෝකයේ තිබෙන්නේ.

සෙනසුරු ගැනත් ටිකක් කියන්න ද. සෙනසුරු ඕනෑම හොඳ දේවල් හැම එකක්ම වගේ ප්‍රමාද කරනවා. ප්‍රමාද කරලා ඒක කරදෙනවාමයි. විශේෂයෙන් විවාහය. අනික සෙනසුරු තරම් දෙන ග්‍රහයෙක් මේ සෞරග්‍රහ වළල්ලේ නැහැ. හැබැයි දෙන්න ගත්තාම ඕන කරන එකයි එපා කරන එකයි දෙකම දෙනවා. අර එපා කරන ඒවා ගත්තාම අපි ඉබේටම නරක් වෙනවා. අන්න දුගී තත්ත්වයට පත්වෙනවා. එනිසා අපිට මොනවා හරි ලැබෙනකොට අවශ්‍ය දේ විතරක් රැගෙන එපා දේ ප්‍රතික්‍ෂේප කරන්න, සෙනසුරුගෙන් ඉගෙන ගන්න.

ඕනෑම කේන්දරයක 2-5-8-11 තිර රාශි බව දන්නවනේ. එහෙනම් මේ තිර රාශියකට අයිති ග්‍රහයෙක් ධර්ම – කර්ම ස්ථානවල දුර්වල වුණොත් ඔබ රජෙක් වුණත් මැරෙන්නෙ ඔබට අයිති නැති ස්ථානයක් වන රෝහලක, අනාථ මැඳුරක, එහෙමත් නැතිනම් පාළු බස් නැවතුමක බව දැනගත්තොත් හොඳයි.

දැන් පෙනෙනවාද අපේ ජීවිතයේ කොච්චර විස්තර මේ කේන්දරයේ ලියා තිබෙනවාද කියලා. මේවා කියන්න නම් ජ්‍යොතිෂ මූලික කරුණු – උසස් කරුණු සිද්ධාන්ත ඉගෙනීම ඉතා වැදගත් වනවා. තව එකක් කියලා අවසාන කරන්නම්. අපි හිතමු ලග්නය මේෂය කියලා. එහෙනම් සෙනසුරා නීචයි. නීචයේ කෙළවර උච්චයි. හරියට උපතේ කෙළවර විපත නැත්නම් මරණය වගේ.

ජීවිත විස්තරයම කේන්දරයේ සටහන් වෙලා තිබෙනවාද?

පාරම්පරික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යාදර මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment