‘ජී.එස්.පී. ප්ලස්’ දිගටම දෙන්න – සජිත් යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් ඉල්ලයි

203

යුරෝපා කොමිසම ශ‍්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. සහනය සහ අනෙකුත් මූල්‍යමය සහන අඛණ්ඩව මෙරටට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත.

අදාළ හමුවේදී විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ ජී.එස්.පී. ප්ලස් සහනය මෙරටට විශාල ශක්තියක් බවය.

එය අඛණ්ඩව අපේ රටට ලබා දීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇත. එමෙන්ම යුරෝපා කොමිසම ශ‍්‍රී ලංකාවට ලබා දෙන මූල්‍යමය සහන, ජීඑස්පී සහන, අන්තර්ජාතික සහන සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පළ කරන බවත් හෙතෙම එහිදී පවසා ඇත.

කොරෝනා ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටලූ පිළිබඳව එහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡුාවට ගැනී ඇති අතර ශී‍්‍රි ලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අදාළ නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබේ.

තම පක්ෂයේ විදෙස් පිළිවෙත වන්නේ නොබැඳුණු විදේශ ප‍්‍රතිපත්තිය බවත්, ශ‍්‍රී ලංකාව සාමයේ භූමියක් මිස බලවතුන්ගේ අරගල බිමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා යුරෝපා කොමිසමේ නියෝජිතයින් සමග පවසා ඇත.

එමෙන්ම, ජනතාවාදී විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම කොන්දේසි විරහිතව ඉටුකරන බවත්, මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මැදිහත්වීම, මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලය, නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම තිරසාරව සිදුකරමින් සිටින බව පවසා ඇති විපක්ෂ නායකවරයා ජනතාවාදී සාධනීය කටයුතු වෙනුවෙන් සිය සහයෝගය හිමි වන බව ද පවසා තිබේ.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මහජනතාව සඳහා ප‍්‍රජාතාන්ත‍්‍රික අවකාශයන් පුළුල් කර දීම, ව්‍යවස්ථාදායකය/අධිකරණය සහ විධායකයේ බලය බෙදීයාම, සමතුලිත කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී යුරෝපා කොමිසමේ නියෝජිතයින් අවධානය යොමුකරනු ලැබූ අතර විපක්ෂ නායකවරයා එහිදී පවසා ඇත්තේ ඉහත කාරණා සාධනීය ලෙස සාර්ථක කර ගැනීම උදෙසා ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට මැදිහත්වීම වැදගත් බවය.

මෙරටට ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය කුමන හේතුවක් නිසා හෝ ඉවත් නොකරන ලෙස විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා පැවසීය.

මේ අතර මෙරටට පැමිණි යුරෝපා සංවිධානයේ සාමාජිකයින් පෙරේදා (28 දා) දින සවස විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ එම පක්ෂ නියෝජිතයින් හමුවී සාකච්ඡුා කළ අවස්ථාවේ විපක්ෂ නායක මේ බව සඳහන් කළ බව ද කිරිඇල්ල මන්තී‍්‍රවරයා කීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

‘පසුගිය වසර දෙක තුළ ලංකාවේ නැති වී ගෙන යන සිවිල් අයිතිවාසිකම් ගැන සොයා බැලීමට තමයි ඒ අය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ අය අපේ භාණ්ඩ මිල දී ගන්නවා. ඒ රටවල දැන් අලූත් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මානව හිමිකම්, නීතියේ උත්තරීතරභාවය, සිවිල් අයිතිවාසිකම් කඩන රටවලින් භාණ්ඩ මිල දී ගන්න එපා කියලා. හැබැයි විපක්ෂ නායකතුමා පැහැදිලිව කිව්වා මොන ප‍්‍රශ්න ආවත් රටේ මිනිස්සු ගැන කල්පනා කරලා ජී.එස්.පී. සහනය ඉවත් කරන්න එපා කියලා. අපි සියලූ දෙනාම කිව්වේත් ලංකාවේ මානව හිමිකම්, නීතියේ උත්තරීතරභාවය, ඒ වගේම සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බලපෑම් කළාට කමක් නෑ නමුත් ජී.එස්.පී. සහනය නැති කරන්න එපා කියලා යි.’

මේ අතර යුරෝපා සංගමයේ නියෝජිතයින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද හමුවී සාකච්ඡුා කර තිබේ.

අමාත්‍යවරයා විසින් අධිකරණ ක්ෂේත‍්‍රයේ සාධනීය තත්ත්වයන් පිළිබඳ යුරෝපා සංගමයේ නිලධාරින් දැනුවත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර යුරෝපා සංගමයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය යන පක්ෂ නියෝජිතයන් ද හමුවී සාකච්ඡුා කර තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment