ජුනි මාසයේදී මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා – එජාප සභාපති වජිර අබේවර්ධන

162

ජුනි මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.රට මුහුණ පා තිබෙන අර්බුධවලින් ගොඩගෙන ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකර දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරතුරුවම කැප වී සිටිනවා. ඒ වැඩපිළිවෙලේ මූලික පියවර වන්නේ ඉන්ධන, ගෑස්, විදුලිය, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පවතින පෝලිම් නැති කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාරගත් දා සිට මේ දක්වා ඒ සඳහා ගත් පියවර නිසා ක්‍රමයෙන් ඉහත ගැටලුවලට විසඳුම් ලැබෙමින් තිබෙන බව සිහිපත් කිරීමට කැමතියි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝකයේ අනෙකුත් ආයතන සහ රටවල් සමග සමීප සබඳතා පවත්වා ගනිමින් රට පත්ව තිබෙන මේ විපතින් ගොඩදැමීම සඳහා නිරතුරුවම උත්සාහ ගනිමින් සිටිනවා. අපි හැමදෙනාමත් කිසිදු වරප්‍රසාදයක් ලබා නොගෙන ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනවා.

ජුනි මාසය අවසන් වනවිට ෂඵත්‍ සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා. පවතින ආහාර හිඟය හේතුවෙන් රට තුළ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනක් දියත්කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා. මෙමගින් රට තුළ පවතින ආහාර හිඟයට විසඳුම් ලබාදිය හැකි වෙනවා.අද බොහෝ දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා. නමුත් මා දන්නා පරිදි අද මේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය නොවේ.

ගාල්ල ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment