ජුනි මාසෙන් පස්සේ රටට මොකද වෙන්නේ… ඉක්මනින් IMF නොගියොත් රටම අර්බුදයක

439

රට තිබෙන්නේ ඉතාම තීරණාත්මක තැනකය. දැන්වත් හරි තීන්දු තීරණ ගෙන රට නිවැරදි දිශානතියකට ගෙන නොගියොත් ඉදිරි තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත. මේ නිසා කඩිනමින් කැබිනට් මණ්ඩලයක් පත්කර නිසි මුදල් ඇමැතිවරයෙක් නම් කර රට වැටී ඇති අමාරු තත්ත්වයෙන් ගොඩ ගැනීමේ මෙහෙයුම වහාම ආරම්භ කළ යුතුව තිබේ. දේශපාලන පම්පෝරි ගසමින්, පසුගිය ආණ්ඩුවේ වැරදි ගැන කතා කරමින් කල්මැරීමට කාලයක් නැත. මෙතරම් කල් මේ ප‍්‍රශ්නය විසඳීමට නිසි ක‍්‍රියාමාර්ග නොගනිමින් ‘අපි තමයි හොඳටම කරේ’ වැනි මානසිකත්වයකින් කටයුතු කරමින් මේ ආණ්ඩුව මේ වන විට රටත් ජනතාවත් හොඳටම අමාරුවේ දමා ඇත. මේ වන විට මහ බැංකුවට නව අධිපතිවරයෙක් පත් කර තිබේ. ඒ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ය. එසේම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද පත් කර තිබේ. ඔවුන් ඉතා දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ය. මේ බලවත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ මෙහෙයුම සඳහා ඔවුන් දෙදෙනා ඉතා හොඳ නියමුවන් දෙදෙනෙකි. දැන් අවශ්‍ය කරන්නේ හොඳ මුදල් ඇමැතිවරයකු පත් කර ගැනීමයි. මේ ලිපිය ලියමින් සිටින මොහොත වන විටත් ඇමැති මණ්ඩලයක් හෝ මුදල් ඇමැතිවරයෙක් පත් කර නැත. එහෙත් මේ ලිපිය ඔබ කියවන විට අලූත් ඇමැති මණ්ඩලයක් පත් කර රටේ තවත් බොහෝ දේවල් වෙනස් වී තිබෙන්නට පුළුවන. මේ අනුව වහාම දැන් රටේ තිබෙන ආර්ථික තත්ත්වය සහ ඉදිරි අවදානම ගැන ජනතාවට ඇත්ත කියා මේ ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීම සඳහා රටේ ජනයාගේ සහාය මෙන්ම විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ සහාය ද ගත යුතුව තිබේ. ජනයා ආර්ථික ප‍්‍රශ්නවලින් හෙම්බත් වී පාරට බැස විරෝධතා කරන විට ඒ ජනයාට හෝ ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස අතපය කැඩෙන්නට පහර දීමෙන් මේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැති බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය තේරුම් ගත යුතුය.

එසේ නම් දැන් ප‍්‍රමාද වෙමින් ඇදී ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමේ තීරණය තවත් ප‍්‍රමාද නොකර රටට සහ ලෝකයට නිශ්චිතව ප‍්‍රකාශ කර එම ක‍්‍රියාවලිය ඉතා වේගවත් කරගත යුතුව තිබේ. දැනටමත් අප හොඳටම ප‍්‍රමාද වී තිබේ. එහෙත් වත්මන් රජය විසින්ම පැවතියා වූ මේ විනිමය අර්බුදය තවත් වර්ධනය කරගෙන උග‍්‍ර තත්ත්වයට පත් කර ගැනීම නිසා තවදුරටත් අපගේම වූ විසඳුමක් නොමැති බව පෙනේ. එවැනි අපේ විසඳුම් හඳුන්වා දුන්නත් එමගින් නිසි ප‍්‍රතිපත්ති තීරණ හෝ ක‍්‍රියාමාර්ග නොගත් නිසා ඒවා අසාර්ථක වී ඇත. ඒවා ප‍්‍රතිඵලදායී නොවූ නිසාත් එසේම මේ බරපතළ විනිමය අර්බුදය අපේ ආර්ථික බලධාරීන් විසින් සැහැල්ලූවෙන් ගැනීම නිසාත් දැන් අපට තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගෙන මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට අපහසු තත්ත්වයක් ද උද්ගත වී ඇත. ඒ නිසා දැන් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට සාකච්ඡා ආරම්භ කළ යුතු වේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ නායකත්වයෙන් මේ කාර්යය ඉතා කඩිනමින් සිදුවනු ඇතැයි අපට සිතිය හැකිය. එසේ නොකළහොත් ජුනි මාසයෙන් පසු රටට වෙන්නේ කුමක් ද? ලබන ජූලි 25 වැනිදා අපට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයකට මුදල් ගෙවීමට තිබේ. එය ගෙවීමට අපහසු වනවා පමණක් නොව ඩොලර් හිඟය තවත් වැඩි වී දැන් තිබෙන තෙල් හිඟය සහ විදුලි කැපිල්ල උග‍්‍ර වී ජනයා තවත් පීඩාවට පත් වීම වැළැක්විය නොහැකිය. මේ නිසා ජනයා පාරට බැසීම වැළැක්විය නොහැකිය. ඒ නිසා රජය කළ යුතු වන්නේ රටේ තිබෙන විනිමය අර්බුදය විසඳීමයි. රටේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැතුව ජනතා විරෝධතා මර්දනය අතීසාරයට අමුඩය ගැසීමකි. එහෙත් දැන් ප‍්‍රමාද වී හෝ සිදුවෙමින් පවතින වෙනස්කම් අනුව අපට ඉදිරිය ගැන සුභවාදී අපේක්ෂා දල්වාගත හැකි තත්ත්වයක් තිබේ.

ජුනි මාසයෙන් පසු රටට වෙන්න යන දේ ගැන ජනතාවට අවබෝධයක් නැති බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පවසා තිබුණි.ඒ ‘දෙරණ’ රූපවාහිනියේ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට සහභාගි වෙමිනි. ඔහු එහිදී මෙසේ කියා සිටියේය.

ජුනි මාසෙන් පස්සේ රටට මොකද වෙන්නේ… ඉක්මනින් IMF නොගියොත් රටම අර්බුදයක

මම දන්නේ නෑ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වන විට තිබෙන දරුණු බව. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුුදල සමග සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්නම්, මූල්‍ය උපදේශකයකු පත් කරලා ණය ප‍්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් කරන්න ලැබෙන්නේ නැහැ. ජූලි මාසයේ අපි ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින්ම තමයි. ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න. එතකොට මේ රටේ බෙහෙත් නෑ. විදුලිය නෑ. තෙල් නෑ. ගෑස් නෑ. ඉන්දියාවෙන් එන තෙල්වලින් මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබා ගන්නේ කොහොමද? තත්ත්වය ඉතාම උග‍්‍රයි. බරපතලයි.’

හුලංගමුව මහතා තවත් වැදගත් අදහස් රැසක් මේ වැඩසටහනේ දී පවසා තිබුණි. ඔහු මේ කියන සියලූම කරුණු ඇත්තය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මුදල් ඇමැතිවරයෙක් අවශ්‍ය බවද ඒ මහතා සඳහන් කර තිබුණි. මේ ලිපිය ඔබ කියවන මොහොත වන විට නව ඇමැති මණ්ඩලයක් පත් කර තිබිය හැකි බැවින් මුදල් ඇමැතිවරයෙක් සිටිනු ඇත. එහෙත් ඒ පත්වන මුදල් ඇමැතිවරයා රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට සහ අයිඑම්එෆ් සාකච්ඡා ක‍්‍රියාවලියට කෙතරම් නායකත්වයක් ලබා දිය හැකි අයෙක් ද යන්න ඉතාම තීරණාත්මක කරුණකි. එවැනි මුදල් ඇමැතිවරයකුට ආර්ථික දැනුමට අමතරව විදෙස් පාර්ශ්වයන් සමග ඉතා හොඳින් සාකච්ඡා මෙහෙයවීමේ සහ අපේ කරුණු ඔවුන්ට සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුම ය. මේ නිසා දැන්වත් හරි තීන්දු තීරණ ගෙන රට මේ අමාරු තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට සුදුසු අය ඒ ඒ ස්ථානවලට වහාම පත් කරගත යුතුව තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිල ඉහළ යෑම, භාණ්ඩ හිඟය සහ විදුලිය කැපිල්ල නිසා විඳින පීඩාව ගැන ජනතාව පසුගිය කාලයේ දිගටම මැසිවිලි නැගූහ. ඒවාට රජයෙන් නිසි විසඳුම් නොලැබුණ විට අවසානයේ වූයේ කුමක් ද? ඒ ආර්ථික පීඩනය පුපුරා ගොස් ජනයා පාරට බැස්සේය. මේ විරෝධතා කරන සියලූ දෙනා සංවිධානාත්මක අන්තවාදීන් ද? එසේ කිව හැකි නොවේ. එවන් අය ද මේ ජනතා විරෝධතා මැද්දට ගොස් ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා විය හැකිය. බස් ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම් කරනවා විය හැකිය. එහෙත් ඒ අය අල්ලාගෙන නීතිය ක‍්‍රියාත්මක කරනවා මිස ජනතා පීඩනය කිසි ලෙසකින් අවතක්සේරු කළ නොහැකිය. එසේ කිරීමෙන් වන්නේ ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වීමයි. මේ ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා ජනතාව තුළ හැඟීමක් ඇති කර ඔවුන්ගේ සහාය සහ දායකත්වය ගැනීමට පවා අපහසු තත්ත්වයක් උද්ගත වීමයි. දැනටමත් රජය ඒ තත්ත්වය ඇතිකරගෙන ජනතාව කෝපයට පත්කරගෙන තිබේ. මේ නිසා ඉතාම සුළු පිරිසක් හැරෙන්නට මේ ආණ්ඩුවට ඡන්දය දුන් නොදුන් සියලූ බහුතර ජනයා අතර නිර්පාක්ෂිකව රජය කෙරෙහි ජනතා විරෝධයක් තිබේ. මේ අතර ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය ද පසුගිය දා නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් වූයේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්කරමින් හා ආර්ථිකයට බාධා ඇති කරන රටේ වත්මන් අර්බුදය විසඳීමට සියලූ මතභේද පසෙකලා එකට එක්ව වැඩ කරන ලෙසයි. එහි මෙසේද සඳහන් විය.

‘වත්මන් සාර්ව ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීමට කඩිනම් ක‍්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්ත්වය තව තවත් උග‍්‍ර වී ශ‍්‍රී ලාංකීය ජනතාවට සමාජීය හා ආර්ථිකමය වශයෙන් දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇඟලූම් කර්මාන්තය අනතුරු අඟවයි. ඇඟලූම් කර්මාන්තය වසර ගණනාවක සිට අත්කර ගත් ප‍්‍රගතිය නැති කර දැමූ පෙර නොවූ විරූ කොවිඞ් වසංගතයේ අහිතකර බලපෑම්වලින් ශ‍්‍රී ලංකාව තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටී. ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රධාන ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය පවසන්නේ වත්මන් අර්බුදයට ප‍්‍රායෝගික විසඳුමක් ලබා දීමට සහ එය ක‍්‍රියාත්මක කිරීමට රජය නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා ගෝලීය වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශය ඇතුළුව ශ‍්‍රී ලංකාවට දිගු කාලීන වශයෙන් අඛණ්ඩව අධික පිරිවැයක් දැරීමට සිදු වීම ඉතා අවදානම් තත්ත්වයක් වී ඇති බවයි.

ඇඟලූම් යනු ශ‍්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ විනිමය උපයනු ලබන අංශය වන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 6 ක දායකත්වයක් සපයනු ලබයි. එම අංශය සේවකයින් 350ල000 කට පමණ ස්ථිර රැකියා අවස්ථා සහ අමතර 700ල000 ක පිරිසකට වක‍්‍ර රැකියා අවස්ථා සලසා දී ඇත.’

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංසදයේ නියෝජිතයකු මාධ්‍යයට පවසා තිබුණේ මෙවැනි අදහසකි.

‘‘වත්මන් අර්බුදය මාස කිහිපයක් තිස්සේ පැනනගිමින් පවතින අතර, රජය ඒ පිළිබඳව නිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙනවා. විදුලිය ඇනහිටීම් හා ප‍්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා දැනටමත් බොහෝ කුඩා ආයතන වසා දැමීමට සිදු වී තිබෙන අතර නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් තිබෙනවා. සාමකාමී විරෝධතා මැඬපැවැත්වීමේ උත්සාහයන් දේශපාලන අර්බුදයකට තුඩු දී තිබෙන නිසා මේ තත්ත්වය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. මෙම තත්ත්වය තවත් දරුණු වීමට පෙර තීරණාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා ක‍්‍රියාත්මක කළ හැකි කෙටි හා මධ්‍ය කාලීන විසඳුම් ක‍්‍රියාවට නැංවීම සඳහා ක්ෂණික, තීරණාත්මක ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය වනවා. වත්මන් අර්බුදයේ බරපතළකම සැලකිල්ලට ගෙන රටේ සුබසාධනය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් සියලූ පාර්ශ්වකරුවන් එකට එක්ව වැඩ කළ යුතුයි.’

මේ සියලූ කරුණු ඇත්තය. මේ මොහොතේ ආර්ථික හා මූල්‍ය නියෝජිතයන්ගෙන් ව්‍යාපාර ප‍්‍රජාවේ සාමාජිකයන්ගෙන් විමසූ විට ඒ සියලූ දෙනාම පාහේ පවසන්නේ මේ පොදු කතාවයි.

ශ‍්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කඩිනමින් පත් කරනු ලබන මූල්‍ය හා නීති උපදේශකයන් විසින් ඒ සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් රට මුහුණ දී සිටින විනිමය පීඩනය අවම කර ගනිමින් අපේ විදේශ ණය ගෙවීමට ඇති වගකීම් තාවකාලිකව නවතා ගැනීමට අවස්ථාව හිමිකරගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේම මේ ලියුම්කරු අදහස් කරනුයේ මෙය ආර්ථිකමය වශයෙන් රට මුහුණ දී සිටින හදිසි ආපදා තත්ත්වයක් බවයි. මේ ආර්ථික අර්බුදය පුපුරා ගොස් එය මේ මොහොතේ දේශපාලන අර්බුදයක් ද නිර්මාණය වී ඇත. මේ සියල්ලටම හේතු වූයේ මේ රජය ගෙවී ගිය වසර දෙකහමාරකට ආසන්න කාලයේ දී නිසි පියවර නොගැනීමයි. එසේම ගත් පියවර ද ප‍්‍රමාණවත් නොවීම සහ ඒවා ප‍්‍රතිඵලදායී නොවීම නිසයි. ඒ බව විවිධ පාර්ශ්වයන් මෙන්ම අප විසින්ම ද විටින් විට කෙතරම් පෙන්වා දුන්නත් ඒ ගැන මේ රජයේ අය, ආර්ථික බලධාරීන් නිසි ලෙස සැලකුවේ නැත. එහි විපාක අතිමහත් බහුතර පොදු ජනතාව මෙන්ම දේශපාලනික වශයෙන් රජය ද දැන් භුක්ති විඳිමින් සිටී.

මේ ඇති වී තිබෙන ආර්ථික හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව පීඩාවට පත් වීම අවම කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විනිමය සම්පාදනය කර ගැනීමට පියවර ගත යුතු වේ. විශේෂයෙන්ම අනෙකුත් වියදම් මෙන්ම විදේශ ණය ගෙවීම් ද ප‍්‍රමාද කරගනිමින් ඉන්ධන, ගෑස් සහ ඖෂධ සඳහා මූල්‍ය පහසුකම් සම්පාදනය කරගත යුතු වේ. ඒ සඳහා ශ‍්‍රී ලංකාව අයිඑම්එෆ් සමග සම්බන්ධ වීම විශාල ශක්තියක් වනු ඇත. දැනට ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් ප‍්‍රයෝජනයට නොගත් විදේශ අරමුදල් ද තිබිය හැකිය. ඒ සියල්ලම අපට මේ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා දායක කරගත හැකිය. එහෙත් ඒ සඳහා ලෝක බැංකුව ඇතුළු එම ආධාර ලබාදුන් පාර්ශ්වයන් සමග එක්ව සාකච්ඡා කර ඔවුන්ගේ සහාය ගැනීමට ද සිදුවනු ඇත. මේ කරුණු සියල්ල අලූත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් අනෙකුත් ආර්ථික බලධාරීන් සමග එක්ව සලකා බලනු ඇතැයි අපි සිතමු. මේ හරහා ජනතාව දැනට මුහුණ දී සිටින දැඩි පීඩාකාරී තත්ත්වය සමනය කර ගැනීමට මෙන්ම හදිසි සහන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමටද හැකිවනු ඇත.

ජුනි මාසෙන් පස්සේ රටට මොකද වෙන්නේ… ඉක්මනින් IMF නොගියොත් රටම අර්බුදයක

විනිමය අර්බුදයට නිසි පිළියම් නොයෙදීම නිසා විශ්වසනීය ඇඟලූම් අපනයනකරුවකු ලෙස ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරය හමුවේ ඇති කීර්තිනාමය මේ වන විට රජය විසින් සැලකිය යුතු ලෙස පළුදු කරගෙන තිබේ. වර්ධනය වෙමින් පැවති සංචාරක පැමිණීම් ද අඩු වෙමින් තිබේ. මේ නිසා අපට විදේශ විනිමය උපයා ගැනීමට තිබුණු අවස්ථාවලට පවා මෙම අර්බුදය දැඩි බලපෑමක් එල්ල කර තිබේ. රටේ අපනයනකරුවන්, ආනයනකරුවන්, අපේ භාණ්ඩ ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ අපගේ රටේ ව්‍යාපාරික හවුල්කරුවන් ද මේ හේතුවෙන් දැඩි අපහසුවට පත්ව ඇත. විනිමය අර්බුදය සමනය කරගත්ත ද මේ තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට කලක් ගත වනු ඇත. එනම් විදේශ ගැනුම්කරුවන් සමඟ දශක ගණනාවක් පුරා මහත් පරිශ‍්‍රමයක් දරා ගොඩනගා ගෙන ඇති විදේශ ව්‍යාපාරික සබඳතාවන් එලෙසම පවත්වා ගැනීමට අපේ ව්‍යාපාරික ප‍්‍රජාවට අසීරු වී ඇති බවයි. මේ සියලූ ප‍්‍රශ්න හේතුවෙන් අපේ කර්මාන්තවලට, අපනයන ක්ෂේත‍්‍රය සහ පොදුවේ ආර්ථිකයට ඇති කර ඇති අහිතකර බලපෑම විශාලය. මේ ගැන දේශපාලන පම්පෝරි ගසමින් කටමැත දොඩවන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ට ගාණක් තිබේ ද? මේ නිසා අවසානයේ අපේ ව්‍යාපාර ආයතන බිඳ වැටී අපගේ ජනයාගේ ජීවනෝපායන් සහ රැකියා අහිමි වීමට හේතු වන බව ද රහසක් නොවේ. ඇතැම් ආයතන වැසී ගොස් දැනටමත් ඒ තත්ත්වයන් ඇති වී තිබේ. මෙසේ අපනයන ආදායම් අහිමි වීම, සංචාරක ආදායම් අහිමි වීම, විදේශ විනිමය පේ‍්‍රෂණ අහිමි වීමෙන් වන්නේ විදේශ විනිමය අර්බුදය සමනය කරගැනීම තවත් අමාරු තත්ත්වයට පත් වීමයි. රටට එන සංචාරකයා ද අසතුටට පත් වීමයි. පසුගිය කාලයේ කළ සංචාරක ප‍්‍රවර්ධනයන් ගඟට ඉනි කැපූ තත්ත්වයට පත් වීමයි.

මේ නිසා වන්නේ අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සපයා ගැනීමට රටට ඇති හැකියාව ද සීමා වීමයි. දැනටමත් පැය ගණනාවක දීර්ඝ විදුලි කැපීමක් තිබේ. මේ විදුලිය කැපීම් දීර්ඝ කිරීම සහ අවිධිමත් ලෙස විදුලිය විසන්ධි කිරීම් නිසා නිෂ්පාදන සැලසුම් සහ නිෂ්පාදන ක‍්‍රියාවලි විශාල බාධා ඇතිකර තිබේ. ව්‍යාපාර අංශ පෙන්වා දෙන පරිදි මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ය. ඔවුන් බොහොමයකට ජෙනරේටර් ද නැත. ඒවා තිබුණත් විශාල ඉන්ධන පිරිවැයක් දැරීමට ද සිදුවේ. මේ සමග ද රුපියල විශාල වශයෙන් පිරිහෙමින් පවතින තත්ත්වය හමුවේ අපේ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ද සෘජුවම අහිතකර බලපෑම් ඇතිව තිබේ. මේ ප‍්‍රශ්නය ද අප දිගටම කතා කළ එකකි. පසුගිය රජයන්ගේ කෙතරම් වැරදි තිබුණත් මේ සියලූ ප‍්‍රශ්නවල මුල විදේශ විනිමය හිඟය සමනය කර ගැනීමට වත්මන් රජය පසුගිය කාලයේ නිසි පියවර නොගැනීමයි. එසේම රජය විසින් ගත් තවත් වැරදි තීන්දු තීරණ ද බොහොමයකි. උදාහරණයක් ලෙස බදු කප්පාදුව සහ කාබනික පොහොර ප‍්‍රතිපත්තියට ක්ෂණිකව ගමන් කිරීම යනාදිය දැක්විය හැකිය. ඒ නිසාම අද වන විට මේ ආර්ථික අර්බුදය අපේ නාසය උඩින් වතුර යන තත්ත්වයට පත්ව අවසන්ය. මේ නිසා අපේ නාසය ජලයෙන් උඩට දමාගෙන හොඳ හුස්මක් ගෙන අප වතුරේ ගිලී යන තත්ත්වය වළක්වාගෙන හොඳ අතට රට ගමන් කරවීමට අපට හැකිවනු ඇතිද? ඒ සඳහා මේ මොහොතේ රජය ගන්නා තීන්දු තීරණ සමත් වනු ඇතිදැයි අපි බලා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment