ජුනි 11 දා සිදුවූ පොලිස් භටයන් 600ක් ඝාතනය කිරීමේ බිහිසුණු අපරාධය

562

1990 ජුනි 11 දා මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මිනිස් සංහාරය හෙළි විය. ඒ තිරුක්කෝවිල් වනයේ දී පොලිස් භටයන් 600ක් කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කිරීමයි. මෙය සිදුවී ලබන ජුනි 11 වැනිදාට වසර 33ක් ගතවේ. 1990 ජුනි 11 වැනිදා දා අලුයම 6ට කොටි මඩකලපුව පොලිසිය වටකර පොලිස් භටයන් තිදෙනකු පැහැර ගත්හ. ඉන්පසු මඩකලපුව පොලිසියේ තිබූ මුදල් හා භාණ්ඩ කොල්ල කෑහ. කොටි කොල්ල කෑ භාණ්ඩ මෙසේය.

රුපියල් මිලියන 45 ක්, රන් ආභරණ – ටී. 56 අවි 109 යි, 84 අවි 77, සැහැල්ලු අවි 28, අත්තුවක්කු 29, මැෂින් තුවක්කු 65 – රයිෆල් 303, එස් ඒ ආර්. අවි 780යි.

මෙදින දහවල් 2.30 ට කොටි නැඟෙනහිර සියලුම පොලිස් ස්ථානවලට යටත්වන ලෙස නියෝග කළහ. එවකට හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා ඉහළ දේශපාලන බලධාරියකු දුන් නියෝග මත පොලිස් භටයන්ට යටත්වන ලෙස නියෝග කළේය. ඒ අනුව එරාවුර් කලවංචිකුඩි, අක්කරපත්තු, පොතුවිල් ඇතුළු පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් යටත්වූහ.

එහෙත් කල්මුණේ පොලිස් ස්ථානාධිපති අයිවන් බොතේජු යටත් වූයේ නැත. මේ සමයේ නැඟෙනහිර විශේෂ කාර්ය බළකා කඳවුරේ ජනිත් විමල නමැති භටයකු සිටියේය. ඔහු අද ඊශ්‍රායලයේ පදිංචිව සිටියි. දෑත් බැඳ තිරුක්කෝවිල් කැලෑවට ගෙන යනු ලැබූ පොලිස් භටයන් වෙඩි තබා මරා පුළුස්සා දැමූහ.

ජුනි 11 දා සිදුවූ පොලිස් භටයන් 600ක් ඝාතනය කිරීමේ බිහිසුණු අපරාධය

පොලිස් භටයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසුවේ අපි සියලුම පොලිස් භටයන්ව නිදහස් කරනවා යනුවෙනි.

මේ අතර හමුදා බුද්ධි සේවාව කොටි පණිවුඩයක් සොයාගනු ලැබීය. නැඟෙනහිර කොටි පණිවුඩ ක්‍රියාකාරී ජූඩ් විසින් එය ප්‍රභාකරන්ට යවනු ලැබූවකි. පොලිස් භටයන් අත්අඩංගුවේ පසු වුවත් රජය අපට ලබාදෙන බවට පොරොන්දු වූ මුදල ලැබෙනවා යැයි එහි සඳහන් විය.

මේ පසුබිම මැද විශ්‍රාම ගිය ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් සෑම රජයකට ම සංදේශ යවමින් තිරුක්කෝවිල් සංහාරය ගැන ප්‍රසිද්ධ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ ද එවැනි පරීක්‍ෂණයක් පැවැත්වීමට ක්‍රියා කළේ නැත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වූ ටාසි සෙනවිරත්න ද එම මිනිස් සංහාරය ගැන පරීක්‍ෂණයක් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ඉටුවූයේ නැත.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී පොලිස් භටයන් ඝාතනය කළ ඝාතකයා බැංගලෝර් මහාචාර්යවරයකු ප්‍රසිද්ධියේ හෙළි කර ඝාතකයා විනයාගමූර්ති කරුණා බව කීවේ ය.

මේ ගැන මා කරුණාගෙන් විමසූවිට ඔහු කීවේ ප්‍රභාකරන්ගේ සඟයා වූ ස්වර්ණාම් එම ඝාතනය සිදු කළ බවයි.

එහෙත් මෙරටින් විදේශ රටවලට පැනගිය කොටි හෙළි කළේ අරන්තලාව භික්ෂු ඝාතනය මෙන්ම පොලිස් භටයන් ඝාතනය ද කරුණාගේ මෙහෙයුමක් බවයි. මෙම පොලිස් භටයන් සංහාරය කිසිදු රජයක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගොනු කළේ නැත.

ඝාතනයට ලක්වූ පොලිස් භටයන්ගේ පවුල්වලට යුක්තිය ඉටුවූයේ ද නැත. නැඟෙනහිර විශේෂ කාර්ය බළකා භටයකු වූ ජනිත් විමල වසර ගණනාවකට පසු මෙරටට පැමිණ තවත් රහසක් හෙළි කළේය. ඒ ඝාතනයට ලක්වූ පොලිස් භටයන් ගේ දැවී ගිය අත් පා පොළොවෙන් ඉහළට පෙනෙන බවට හෙළිවූ විට පොලිසිය විසින් ම බුල්ඩෝසරයක් එම ප්‍රදේශයට යවා පස් දමා වසා දැමීමයි.

පොලිසිය එම සිරුරු කොටස් ගොඩගෙන වෝහාරික පරීක්‍ෂණ සිදුකළේ නැත. එහෙත් මන්නාරමේ ඇට සැකිලි ගොඩ ගෙන වෝහාරික පරීක්‍ෂණ සිදුකළේ විදේශ සහාය මතය.

ජනිත් විමල මෙම සංහාරය ගැන මෙලෙස පළ කළේය. පොලිස් භටයන් ඝාතනය සාක්ෂි සහිතව ජිනීවා හමුවේ සනාථ කිරීමට කිසිම රජයක් ක්‍රියාකළේ නැහැ. සෑම රජයක්ම එය මඟහැරියා. ඝාතකයාට ඇමැතිධුරයක් ද පිරිනැමුණා.

මේ පසුබිම මත කිසිම රටක් පොලිස් භටයන් ඝාතනයට එරෙහිව පියවර ගත්තේ නැත. එම ඝාතනයට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය යන රටවලට පැන ගියහ.

මෙයට වසර කිහිපයකට පෙර මා ස්විට්සර්ලන්තයේ සූරිච් දුම්රිය ස්ථානයේ සිටිය දී කොටි විරෝධී තරුණයකු පැමිණ පැවසුවේ පොලිස් භටයන් ඝාතනයට සම්බන්ධ සිව් දෙනෙක් සූරිච් නුවර සිටින බවයි. මේ බව පැවසුවේ හිටපු ප්ලොට් ක්‍රියාකාරිකයෙකි. ඔහු නෝර්වේහි ප්ලොට් ජාත්‍යන්තරයේ සාමාජිකයෙකි.

එසේ වුවත් තිරුක්කෝවිල් සංහාරය ගැන විමර්ශනය කිරීමට රජය පිහිටවූ සත්‍ය සෙවීමේ කොමිසමට හැකිවේ.

මෙම කොමිසම හමුවේ සාක්ෂි දීමට ජනිත් විමල ද ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණේ. ඊට අමතරව ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල භාර්යාවන්ද ඉදිරිපත්වේ. එහෙත් යුක්තිය ඉටුවේද?

බි්‍රතාන්‍ය හමුදා අයර්ලන්ත ගරිල්ලන් ඝාතනය කිරීම

ගැන වසර ගණනකට පසුත් පරීක්‍ෂණ පවත්වා අපරාධකරුවන් කවුදැයි හෙළිකර තිබේ. එහෙත් මෙරට දේශපාලකයන් තම රටේ පොලිස් භටයන්ට සිදුවූ අපරාධය ගැන නිහඬව සිටිති.

කීර්ති වර්ණකුලසූරිය

ඡායාරූප පිටපත් කිරීම —-¤ -සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment