ජූලියන් ගේ නිදහස

573

ජූලියන් අසාන්ජ් ලෝකයම කැළඹූ චරිතයකි. කුඩා සිර මැදිරියක දින 1,901ක් ගත කිරීමෙන් පසු අසාන්ජ් පසුගිය ජුනි 23 වැනිදා බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් පිටව ගියේය. 52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සහ ඒවා හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. එනිසාම ඔහු බි්‍රතාන්‍යයේ සිරගතකර තිබිණි. නමුත් දැන් ඔහු උපන් රටට එනම් ඔස්ට්‍රේලියාවට ගොස් තම පවුල් සමග නිදහස් ජීවිතය ආරම්භ කර ඇත. ඇමෙරිකාව අසාන්ජ් යක්ෂයකු ලෙස දුටුවද ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම මත ඇමෙරිකානු ආණ්ඩුව ඔහුට එරෙහි චෝදනා ලිහිල් කර ඇත. ජුලියන් අසාන්ජ්ට එරෙහි නඩු පැවරීම ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියාවෙන් කළ ඉල්ලීමක් සලකා බලන බව පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබිණි.

2006 වසරේදී අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කළේ ය. එහි යුද්ධය, ඔත්තු බැලීම සහ දූෂණය සම්බන්ධ රහසිගත තොරතුරු ඇතුළත් නිල වාර්තා ඇතුළු මිලියන දහයකට වඩා ලේඛන ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ. 2010 වසරේදී එය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිවිල් වැසියන් 18 දෙනකු ඝාතනය කරන අයුරු දැක්වෙන එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයක සටහන් වී තිබුණු වීඩියෝවක් නිකුත් කළ අතර මේ නිසා ඇමෙරිකානු යුද යන්ත්‍රය වික්ෂිප්ත විය. එනිසා ඇමෙරිකානු යුද අපරාධ ගැන පැහැදිලි සාක්ෂි ලැබිණි. එසේම විකිලීක්ස් වෙබ් අඩවිය හිටපු ඇමෙරිකානු හමුදා බුද්ධි විශ්ලේෂක චෙල්සි මැනින් විසින් සපයන ලද රහස්‍ය ලේඛන දහස් ගණනක් ද ලොවට හෙළිකර තිබිණි. මේවායින් පෙන්වා දී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී ප්‍රසිද්ධියට පත් නොකෙරුණු සිදුවීම්වලදී ඇමෙරිකානු හමුදාව සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කර ඇති බව ය. 2019 වසරේදී, ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෙම හෙළිදරව් කිරීම විස්තර කළේ “එරට ඉතිහාසයේ රහසිගත තොරතුරු හෙළිදරව් වුණු විශාලතම සිදුවීම” ලෙසිනි. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සටන්වලට අදාළ හමුදා බුද්ධි වාර්තා සහ රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ හෙළි කිරීම සම්බන්ධයෙන් – ඔත්තු බැලීමේ පනත යටතේ – විකිලීක්ස් නිර්මාතෘට චෝදනා 18ක් යටතේ නඩු පැවරීමට ඇමෙරිකානු රජයට මුලදී අවශ්‍ය විය. ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ හිටපු ප්‍රධානී මයික් පොම්පිඕ විකිලීක්ස් වෙබ් අඩවිය පසමිතුරු රහස් ඔත්තු සේවයක් ලෙස විග්‍රහ කර තිබුණේ මීට වසර හතකට පෙරය. නමුත් ලොව එදිරිවාදිකම් වැඩිවන විට විශේෂයෙන් චීනයට එරෙහි පොදු එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා ඇමෙරිකාවට ඔස්ට්‍රේලියාව වඩාත් අවශ්‍යවේ. එනිසා එදිරිවාදියා ගැන සානුකම්පිතව බලන්නට ඇමෙරිකාවට සිදුවිය. මේ තවත් රාජතාන්ත්‍රික උපක්‍රමයකි. විකිලීක්ස් වෙබ් අඩවිය මීට වසර ගණනාවකට පෙර ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය අනවසරයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා භාවිත කළ රහසිගත ක්‍රමවේද හෙළිකර තිබිණි. ස්මාර්ට් ජංගම දුරකථන සහ පරිගණකවල අඩංගු දත්ත රහසින් ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෘදුකාංග ගැනත් ජුලියන් අසාන්ජ් හෙළිකර තිබුණද දැන් ඒවා හාරා අවුසන්නට ඇමෙරිකාව කටයුතු නොකරයි. මේවා තවත් අවුල් රැසක මූලාරම්භයක් බව ඔවුන් සිතන්නේද? එහෙත් ජුලියන් අසාන්ජ් වීරයකු ලෙස සලකන මිලියන ගණනක් ලොව පුරා විසිර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment