ජෙනට් කියන්නේ ප්‍රමෝෂන් එක්ක වැඩ කරපු කොල්ලෙක්

188

හෙට ෂූටින් නම් අද රෑ ඉඳලා කොණ්ඩය හදනවා

අද අපේ කථනායකයා ටෙලි නාට්‍ය කලාවට නවකයෙක් කිව්වොත් නිවැරදියි. හැබැයි ඔහු වේදිකාවට නම් නවකයෙක් නෙමෙයි. ඔහු මෙතැනට එන්න ගෙදර පරිසරයත් බලපාලා තියෙනවා. කවුරුත් නොදන්න බයිල පරපුරකින් පැවැත එන ජෙනට් ඇන්තනි පසු ගිය කාලයේ එකම නාට්‍යයේ චරිත තුනකින් අපට මුණගැසුණා. ඒ කොළඹ ඉතාලිය ටෙලි නිර්මාණයෙන්. මේ වෙනකොට ජෙනට් ඇන්තනීව අපට මුණගැසෙන්නේ ස්වර්ණවාහිනියේ සතිඅන්තයේ විකාශනය වන මැස්සා ටෙලි නාට්‍යයේ බුවා ලෙසිනි.

ජෙනට් කොහොමද මැස්සා සමඟ ගෙවන ජීවිතය?

මැස්සා එක්ක ගෙවන ජීවිතය ඉතාම සුන්දරයි. කවදාවත් හිතුවේ නැහැ මේ වගේ වැඩකට කතා කරයි කියලා. මට මේ අවස්ථාව ලබා දුන්නේ ජනක සම්පත් තඹරවිල කියන නිෂ්පාදකවරයා. බුවා චරිතය මට ලබාදුන්නේ මැස්සා හි ඉන්දික ධර්මතිලක කියන අධ්‍යක්‍ෂවරයා සහ කෞෂල්‍ය පතිරණ කියන පිටපත් රචකයා.

බුවා චරිතය හින්දද පෙනුම වෙනස් කළේ?

ඔව්. මේක අධ්‍යක්‍ෂවරයා ගේ අදහසක්. මම අධ්‍යක්‍ෂවරයා සමඟ කතා බහ කරනකොට ඔහුට පෙන්නුවා මම ඉස්කෝලේ බිග් මැච් එකට ගහපු පිංතූරයක් දැකලා තමයි මේ විදියට හැදුවේ.

ජෙනට් කියන්නේ ප්‍රමෝෂන් එක්ක වැඩ කරපු කොල්ලෙක්

ඇත්තටම කොණ්ඩේ වවලා නැතිද?

මේ දවස්වල ලොකුවට කොණ්ඩය වවලා නෙමෙයි ඉන්නේ. තිවංක සම්පත් තමයි කොණ්ඩය සකසලා දුන්නේ. මේ කොණ්ඩය දාන්න පැය හතරක් විතර යනවා. හෙට ෂූටින් නම් අද රෑට ගිහිල්ලා පාන්දර හතර පහ වෙනකොට ඔය කොණ්ඩය දානවා. ඒක පවත්වාගෙන යන්න නාට්‍යයේ වේෂ නිරූපණ ශිල්පීන් උදව් වෙනවා. පළමුවැනි රූගත කිරීම්වල නාන්නේ නැතිව කොණ්ඩය තියාගෙන හිටියා සතියක් විතර.

ජෙනට්ට, විරිඳු, කවි, බයිලා ගායනා කරන්නත් එහෙම පුළුවන් නේද?

ඒක ඇත්තටම එන්නේ මගේ පවුල් පසුබිම හරහායි. මගේ ගම දෙහිවල. අනික මගේ ආච්චිලාගේ පරම්පරාවම බයිලා කලාවට ලැදි පරපුරක්. මගේ ආච්චිගේ තාත්තගේ නම විල්බට් ෆොන්සේකා. එතකොට එම්. එස්. ගේ මුල් පුරුකේ කට්ටිය තමයි ඒගොල්ලෝ. වෙසක් එකට අපේ පැත්තේ දෙබස් කවන මුද්‍රා නාට්‍ය කලාව තියෙනවා. මම ඒවට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. අපේ තාත්තා, අම්මා, ආච්චි දෙබස් කවන මුද්‍රා නාට්‍ය කලාවට සම්බන්ධයි.

ප්‍රසංගවලට ආරාධනා නැතිද?

ගෙවල් පැත්තේ ප්‍රසංගවලටනම් ආරාධනා ලැබෙනවා. ඊට අමතරව එහෙම ලොකුවට ආරාධනා ලැබෙන්නේ නැහැ.

රඟපෑමට එන්න කලින් මොනවද කළේ.?

මම පාසල් කාලයේදී රංගනය විෂයක් විදියට හැදෑරුවා. මගේ පාසල දෙහිවල එස්.ද එස්. ජයසිංහ පාසල. ඒ කාලේ ඉඳලම රඟපෑමට යොමුවුණා. නළුවෙක් වෙන්න කලින් අපිට ඇත්තටම ලොකු ගතමන්ට් එකක් හම්බවෙන්නේ නැහැනේ. ඒක හින්දා ජීවත්වෙන්න ලොකු ගේමක් ගහන්න සිද්ධ වුණා.

ජීවත්වෙන්න මොනවද කළේ?

ගොඩක් ප්‍රමෝෂන් එක්ක වැඩ කරපු කොල්ලෙක් තමයි. නාට්‍ය කරන්න ගත්තු අලුත අපිට චරිත හම්බවෙන්නේ නැහැනේ. මහ පාරේ ප්‍රමෝෂන්වල විකීමවුස් ඩටි චරිතවලට ඇඳලා රඟපෑවා. ඇත්තටම ඒ වගේ අත්දැකීම් මුලින් ගන්න සිද්ධ වුණා. ඊට අමතරව චාමික හත්ලහවත්ත වේදිකා නාට්‍ය ගුරුතුමා ළඟ වේදිකා පරිපාලන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කළා. යෞවන සම්මාන හා රාජ්‍ය නාට්‍යවල වේදිකා පරිපාලන සහයකවරයෙකු විදිහටත් වැඩ කළා. ඒ ඉන්න අතරේ ලොකු කට්ටිය රඟපානවා බලාගෙන ඉඳලා ඒ චරිතවලට ආශා හිතිලා ඒ ගොල්ලෝ නැති දවසට ඒ චරිත කරන එක තමයි අපේ විනෝදාංශය.

ජෙනට් කියන්නේ ප්‍රමෝෂන් එක්ක වැඩ කරපු කොල්ලෙක්

පසුගිය කාලයේ කොළඹ ඉතාලියේ අජිත් හරියට හිට් වුණා නේද?

මට ඒ චරිතයට ඇත්තටම ආරාධනා කරන්නේ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගරුනාදන් කියන අධ්‍යක්‍ෂවරයා. ඔහුත් සමග මම මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් වැඩකරලා තියෙනවා. මම වේදිකාවේදී දැන හඳුනාගත් චරිතයක් තමයි චාලක රණසූරිය. ඔහු තමයි කොළඹ ඉතාලියේ පිටපත ලියන්නේ. මම කොළඹ ඉතාලියේ අජිත්, අජී, අජන්ත කියලා චරිත තුනක් රඟපෑවා.

මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

මම පුංචි කාලේ ඉඳලම හීන මැව්වේ නළුවෙක් වෙන්න. අපේ පවුලේ කවුරුත් විශ්වාස කළේ නැහැ. මම නළුවෙක් වෙයි කියලා. මුළින්ම මට ඕනෑ වුණේ ගායෙකයෙක් වෙන්න. ඊට පස්සේ තමයි මගේ අදහස වෙනස්වෙලා නාට්‍ය හා රංග කලාවට යොමු වෙන්නේ.

ගෙදර පරිසරයත් එක්ක ගායකයෙක් වෙන්න කැමැති නැතිද?

ගායකයෙක් වෙන හීනය හරහා තමයි නළුවෙක් වුණේ.

නළුවෙක් වෙන්න සෑහෙන කට්ටක් කන්න වුණාද?

ඇත්තම කිව්වොත් මම පවුලේ වැඩිමලා. මට පස්සේ ඉන්නේ නංගියි මල්ලියි. මගේ අම්මයි තාත්තයි මට කවදාවත් කියා නෑ රස්සාවක් කරන්න කියලා. ඒ ගොල්ලෝ දන්නවා මම නළුවෙක් වෙන්න කාපු කට්ට මොනවගේද කියලා. නළුවෙක් වෙන එක හැමෝටම කරන්න බැහැ. පැහැදිලිවම නළුවෙක් වෙන්න හරි රස්තියාදුවක් තියෙන්නම ඕනෑ.

පෙනුම හින්ද ලැබෙන්නේ වෙනත් විදිහේ චරිතද?

මට මුලින් මුලින් හම්බ වුණේ මැර පැත්තට යන චරිත. ඒවත් මම පුළුවන් විදිහට කළා. අපි දැන ගන්න ඕනෑ චරිතය අපට ඕනෑ විදිහට හසුරුවා ගන්න. හැබැයි මම මේ වෙනකොට ඒ පැත්තෙන් අයින්වෙලා වෙනස්ම චරිත ටිකක වැඩ කරනවා.

ජෙනට් කියන්නේ ප්‍රමෝෂන් එක්ක වැඩ කරපු කොල්ලෙක්

ජෙනට් ගැන දැන් ගොඩක් දෙනෙක් කතාබහ වෙනවාද?

ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. කොළඹ ඉතාලියට වඩා වෙනස්ම විදිහේ ප්‍රතිචාර තමයි මැස්සා චරිතයට ලැබෙන්නේ. කට්ටක් කාපු ගමනේ මට හිතෙනවා මොනවා හරි දෙයක් වුණා කියලා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment