ජෙන්ජිස් ඛාන් ෂාරුක් ඛාන් සහ ඉම්රාන් ඛාන්

1359

මධ්‍යකාලීන යුගයේ සිටි බලගතුම ඛාන්ගේ නම ජෙන්ජිස් ඛාන්ය. 1126 දී මොංගෝලියාවේදී ඉපිද මොංගෝලියානු අධිරාජ්‍යය බිහිකළ චීන ඉස්ලාමියකු වූ හෙතෙම 1227 දී මළේය. ඉන්පසු එළැඹි යුගයේ විසූ බලගතුම ඛාන්, හතරවන අගාඛාන් කුමාරයාය. ලෝක ප්‍රසිද්ධ ෂර්ගා නමැති රේස් අශ්වයාගේ කොටස් වලින් සියයට 51 ක් හිමිව තිබූ හෙතෙම ප්‍රකෝටිපතියකු වන අතර අදටත් ස්විට්සර්ලන්තයේ ජීවත් වේ. ඉන්පසු පැමිණි ඛාන්ලා අතර ෂාරුක් ඛාන්, අමීර් ඛාන් සහ සල්මන් ඛාන් යන තිදෙනා හින්දි චිත්‍රපට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය චරිත බැවින් හරියටම පවුලේ සාමාජිකයන් ලෙස ලංකාවේ අයට පුරුදුය. මේ සියලුදෙනා අතර ඉම්රාන් ඛාන් සුවිශේෂීය. පළමුව ලෝකය ඔහු දන්නේ අංක 1 කේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසය. ඊළඟට, පිළිකා රෝගීන් සඳහා සුවිශාල රෝහලක් ඉදිකළ මානව හිතවාදියකු ලෙසය. තෙවනුව පාකිස්තානයේ අගමැති ලෙසය. මේ සුප්‍රකට ඉම්රාන් ඛාන් මීට දෙතුන් දිනකට පෙර විශ්වාසභංගයකින් පැරදී අගමැතිකම නැතිකර ගත්තේය. ශ්‍රී ලංකාව සමඟ ලොකු සම්බන්ධයක් ඇති මේ මිනිහා ගැන කතු වැකියක් නොලිව්වොත් අපෙන් වැඩක් නැත.

 පාකිස්තානය යනු අමුතුම සැම්පලයේ රටකි. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් බලයට පත්වන අගමැති රට පාලනය කරන අතර අගමැති පාලනය කරන්නේ පකිස්තානයේ යුද හමුදාවය. මේ යුද හමුදාව තුළ EXTREMIST POCKETS හෙවත් අන්තවාදී කව තිබේ. මේ අන්තවාදීන් ලවා පාකිස්තානය හෝ ඉන්දියාව තුළ ඕනෑම කඩාකප්පල්කාරී වැඩක් කිරීමට යුද හමුදාවට පුළුවන. එබැවින් ඒ රටේ අගමැතිකමට එන ඕනෑම කෙනෙක් යුද හමුදාව සමඟ හොඳින් සිටිය යුතුය. අගමැති හමුදාවේ බලය ඉක්මවීමට තැත් කරන බව හමුදාවට තේරෙන හැම විටකම අගමැති පලවා හරිනු ලැබේ. මේ නිසා පාකිස්තානයේ සිවිල් අගමැති කෙනෙකුට අවුරුදු 5 ක නිල කාලය සම්පූර්ණ කිරීමට හැකි වන්නේ ඉතා කලාතුරකිනි. වඩාත් ශක්තිමත් ලෙස පාකිස්තානය පාලනය කළ හැක්කේ හමුදා ආණ්ඩුවකට පමණි. 1999 දී බලයට පැමිණි තරු හතරේ ජෙනරාල්වරයකු වන පර්වේස් මුෂාරෆ් 1999 සිට 2008 දක්වා නව අවුරුද්දක් රට පාලනය කළේය. ඔහු බලය අල්ලාගෙන සිටියේ හමුදාවේ තිබූ පුහුණුව නිසාමය. අගමැතිකමට එන සිවිල් කෙනෙකු දිහා පාකිස්තාන් හමුදාව මෙන්ම ඒ රටේ සිටින ඇතැම් අන්තවාදී ජනකොටස් බලන්නේ ඉතාම සැකසහිත ලෙසය. බටහිරට ලැදි අගමැති කෙනෙක් සිටිත්නම් හැකි ඉක්මනින් ඔහු හෝ ඇය මරා ගැනීම පාකිස්තානයේ දේශපාලනයේ ව්‍යවහාරය වී තිබේ. උදාහරණයක් ලෙස එංගලන්තයේ ඉපිද බටහිර නැඹුරුවක් සහිතව කාන්තා විමුක්තිය ගැන කතා කළ බෙනාසීර් භූතෝ ඊළඟ ඡන්දය සඳහා ඉදිරිපත් වීමට සිය රට පැමිණි අවස්ථාවේදී බෝම්බ ගසා මරා දමන ලදී. මේ රටේ රජය, පොලිසිය, ව්‍යාපාර යනාදිය ලංකාවේ තරමටම නැතත් ඊට ටිකක් කිට්ටුවට දූෂිතය. ආසියාවේ ඇති පවුල් පාලනය මේ රටේද නිතරම අත්හදා බලනු ලැබේ. බෙනාසීර් භූතෝ යනු පාකිස්තානයේ සිවිල් අගමැති වූ සුල්ෆිකාර් අලිභූතෝගේ දියණියයි. ඇගේ මරණයෙන් පසුව රටේ අගමැති බවට පත්වූ අසීෆ් අලි සර්දාරි යනු බෙනාසීර්ගේ සැමියාය. පසුගියදා ඉම්රාන් ඛාන් අගමැති පුටුවෙන් නෙරපීම සඳහා එකට එකතුවූ දේශපාලන පක්‍ෂ සමූහයේ ප්‍රමුඛයකු වන බිලාවල් භූතෝ යනු බෙනාසීර්ගේ පුත්‍රයාය. ඒ අතර ඉම්රාන්ගෙන් පසු මීළඟ අගමැති වීමට නියමිත වූ ෂෙබාස් ෂරීෆ් යනු පාකිස්තානයේ හිටපු සිවිල් අගමැති කෙනෙකු වූ නවාෆ් ෂරීෆ්ගේ බාල සහෝදරයාය. දූෂණ වලට අමතර මේ අතින්ද පාකිස්තානය සහ ලංකාව එකසමානය. කලක් සේනානායක පවුල මේ රට පාලනය කළේය. එතැන අගමැතිවරු දෙදෙනෙකි. එක් කෙනෙක් ඩී. එස්. ය. අනෙක් අගමැති ඩඩ්ලිය. ඊළඟට බණ්ඩාරනායක පවුල මේ රට පාලනය කළේය. එස්. ඩබ්ලිව්. ඩී. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක යනාදී වශයෙන් අගමැතිවරු දෙදෙනෙක් සහ ජනාධිපතිවරියක් එතැන ඇත. මහින්ද රාජපක්‍ෂ දෙවරක් මේ රටේ අගමැති වූ අතර දෙවරක් ජනාධිපති විය. ගෝඨාභය රාජපක්‍ෂ ඔහුගේ බාලසහෝදරයාය. පාකිස්තානය හා සසඳන විට එරට තිබෙන දේශපාලන ප්‍රචණ්ඩත්වය තරම් ප්‍රචණ්ඩත්වයක් ලංකාවේ නැත.

 ඉම්රාන් ඛාන් පිළිබඳ සුවිසාල සංස්කෘතික ප්‍රශ්නයක් පාකිස්තානුවන්ට තිබිණ. ඉන් පළමුවැන්න ඔහුගේ මධ්‍යස්ථ මතධාරී ස්වරූපයයි. බටහිර ගැත්තකු නොවුවද ඔහු ඉස්ලාම් අන්තවාදියකුද නොවේ. ඔහු පාකිස්තාන ජාතිකත්වය පිළිබඳ හැඟීමක් විශාල වශයෙන් ප්‍රදර්ශනය කළේ නැත. මෙබඳු රැඩිකල් දේශපාලන ප්‍රවේශයන් පාකිස්තානයට නොගැළපේ. පාකිස්තාන ජනාධිපති හෝ අගමැති ටයි කෝට් ඇන්දාට එරට ජනතාව විරුද්ධ නැත. මන්ද මෙය බි්‍රතාන්‍ය යටත් විජිතයකි. නිදහස් පාකිස්තානයේ පළමුවන නායකයා වූ මොහොමඩ් අලි ජින්නා ඇන්දේද කලිසම් කෝට්ය. පාකිස්තානයේ බලයට එන අගමැති යුරෝපීය ඇඳුම ඇන්දත් දේශීය ඇඳුම ඇන්දත් ඒ දෙකම නැතිව යට ඇඳුම පිටින් සිටියත් පාකිස්තාන හමුදාවට සහාය දිය යුතුය. එම සහායදීම ලෝක ලෙඩකි. දේශසීමාවේ සිටින ඉන්දියන් විරෝධී ත්‍රස්තවාදී කණ්ඩායම් සියල්ල කෙරෙහිම අනුකම්පාවක් පාකිස්තාන හමුදාවට තිබේ. ඒ නිසා හදිසි අවස්ථාවලදී එම ත්‍රස්තවාදීන්ට මුදලින් සහ අවි ආයුධවලින් උදව් කිරීමට පාකිස්තාන හමුදාව සූදානම්ය. මේ කියන ත්‍රස්තවාදීන් ඉන්දියාවට පැන මනුෂ්‍ය සංහාරයක් කළ විට ඉන්දියන් ආණ්ඩුව ලෙඩ දමන්නේ අගමැතිටය. මෙසේ ලෙඩ වැටීම දිගින් දිගටම ඉවසීම බැරිවූ කල්හි අගමැති හමුදාව සමඟ ආරවුලට යයි. එසේ ආරවුලට යන මොහොතේ සිටම පාකිස්තාන අගමැති තම තනතුර සහ පුටුව ගැන කල්පනාවෙන් සිටිය යුතුය. කොයිවෙලේ හෝ මේ දෙකෙන් එකක් නැතිවීම ස්ථිරය.

 තම තනතුර නැති කරන ලද්දේ ඇමරිකාව බව ඉම්රාන් ඛාන් කියයි. ඉම්රාන් ඛාන්ගේ මේ විග්‍රහය පිටස්තර ලෝකයට හරියාකාරව නොපෙනේ. ඇමරිකාවේ කැමැත්ත වන්නේ පාකිස්තානය නිතරම ඉන්දියාව සමඟ පැටලී සිටිනු දැකීමටය. එහෙත් ඉම්රාන් ඛාන් එවැනි රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් නිතරම මඟහැරීය. ඉම්රාන් ඛාන්ගේ අදහස ඇත්ත නම් මීළඟ පාකිස්තාන් අගමැති ඇමෙරිකාවට අවශ්‍ය පරිදි පාවිච්චි නොවුණොත් ඔහුට සිදුවන්නේද ඉතා ටික කලකින් ගෙදර යෑමටය.

advertistmentadvertistment
advertistmentadvertistment