ජෙරම් ප්‍රනාන්දු

1934

(කෑම ලෑස්තියි)

ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමකට අයත් යැයි කියන තරුණ පාස්ටර්වරයකු වූ ජෙරම් ප්‍රනාන්දු විසින් බුදුරජාණන් වහන්සේ සහ බුදුදහම ගැන ප්‍රසිද්ධියේ කරන ලද කතාවක් හේතුවෙන් විශාල ආගමික නොසන්සුන්තාවක් බෞද්ධයන් තුළ හටගෙන තිබේ. මේ කියන පාස්ටර් තරුණයා තමා ආගම් කර්තෘවරයකු හා අනාගත වක්තෘවරයකු ලෙස සිතාගෙන සිටින බව පැහැදිලිය. අපගේ අහිංසක හැඟීමට අනුව එම අදහස ලණුවකි. ජෙරම් ප්‍රනාන්දු පාස්ටර් තරුණයා එම ලණුව ගිල දමා ඇති අතර එහි තිබෙන කොහු කැබලි බඩවැල්වල ඇනීමෙන් හටගන්නා වේදනාව හේතුවෙන් තමන්ට අයිති නැති ආගමික පරාසයන් සම්බන්ධයෙන් ද දේශනා කරන්නට පටන්ගෙන තිබේ. ඔහුගේ අදහසට අනුව බුදුන් වහන්සේට වඩා ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රේෂ්ඨය. ඔහු කියන පරිදි බුදුන් වහන්සේ ආලෝකය සොයා ගිය අතර ක්‍රිස්තුස් වහන්සේ තුළ ආලෝකය තිබිණ. මේ අනුව වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ආලෝකය සොයා යන්නාද නොඑසේ නම් ආලෝකය දරන්නාද යන කාරණය ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබේ. බුදුන් වහන්සේ තුළ ප්‍රේමය නැති බවත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමය ඇති බවත්. ජෙරම් ප්‍රනාන්දු කියයි. ජෙරම් ප්‍රනාන්දු උත්සහ කරන්නේ මේ ආගම් දෙකම තුළ තිබෙන ප්‍රේමය නැතිකොට ආගමික අන්තවාදී කෝලාහලයකට මගපෙන්වීමද යන්න අප තුළ තිබෙනා සැකයකි. ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබූ ප්‍රේමය ඉස්ලාම් ආගම තුළ නැති බවත් ඊට අමතරව ලෝකයේ තිබෙන කිසිදු ආගමක් ප්‍රේමය ගැන සාකච්ඡා නොකරන බවත් ඔහු කියයි. ජෙරම් ප්‍රනාන්දු සැබෑ පරිප්පුව කන්නේ මෙන්න මෙතැනදීය. ඉස්ලාම් ආගම හෝ මහම්මත්තුමා ගැන හෝ සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේ ගැන හෝ සිත රිදෙන කතාවක් කීවොත් ඒ සඳහා ජෙරම් ප්‍රනාන්දුට දඬුවම් කිරීම පිණිස ඉස්ලාම් ආගමික උසාවි කිහිපයක්ම නියෝග නිකුත් කරනවා ඇත. ඉන් පළමුවැන්න වන්නේ අල්කයිඩා උසාවියයි. දෙවැන්න තලේබාන් උසාවියයි. තුන්වැන්න අයි.එස්.අයි.එස්. උසාවියයි. මීට අමතරව පොඩි පොඩි උසාවි හදාගෙන ඉස්ලාම් ආගම් විරෝධීන්ගේ බෙලි කපාගෙන යන කණ්ඩායම් අන්තවාදී ආගමික ලෝකයෙහි සිටිති.

බුදු දහමට අපහාස කළොත් ජෙරම් ප්‍රනාන්දුට සිදුවන්නේ නීතියෙන් ප්‍රවේශම් වීමට පමණි. එහෙත් ඔහු ඉස්ලාමය ගැන ඕනෑ නැති දේවල් ගැන කතා කළොත් දවසේ පැය 24 පුරාම කඩු පහරවල් හා වෙඩි පහරවල්වලින් ආරක්ෂා වීමට මේ කියන පාස්ටර් තරුණයාට සිදුවනවා ඇත. සල්මන් රුෂ්ඩි නමැති අදේවවාදී සුප්‍රකට ලේඛකයා මෙයට අවුරුදු 30 කට පමණ පෙර ඉස්ලාමයට අපහාස වන පරිදි satanic verses නමැති ඉංග්‍රීසි කවි පොතක් ලිව්වේය. මේ පොත මගින් ඉස්ලාම් ආගමට සිදුවී ඇති අපහාසාත්මක අලාභය දුටු ඉරානයේ හිටපු ආධ්‍යාත්මික ඉස්ලාමීය නායකයා වන අයතුල්ලා රුහුල්ලා කුමේනිතුමා සල්මන් රුෂ්ඩිට මරණ දණ්ඩනය නියම කළේය. මෙය සාට්වා යනුවෙන් හඳුන්වනු ලැබේ. ඉස්ලාමීය ආගමික උසාවියක් මගින් සාට්වා නියෝගයක් නිකුත් කළ විට එම නියෝගය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ අලුගෝසුවට පමණක් නොවේ. ඉස්ලාමය අදහන ඕනෑම කෙනකුට එම නියෝගය ක්‍රියාත්මක කිරීමට හැකිවන බැවින් දඬුවමට නියම කරන ලද එකා එතැන් පටන් ජීවත් විය යුත්තේ සැඟවිලා ය. මේ අනුව සල්මන් රුෂ්ඩි ද එංගලන්තයේ සැඟවිණ. නොඑසේ නම් හෙතෙම under ground ගියේය. ඒ අතර රුෂ්ඩි මැරීම සඳහා කඩු, කිනිසි, පිස්තෝල ඉනේ ගසාගෙන බොහෝ දෙනෙක් එංගලන්තයේ කැරකුණු නමුත් රුෂ්ඩි හසුවන්නේ නැත. ටිකින් ටික මේ කතාව සියලු දෙනාටම අමතක වී රුෂ්ඩිටත් අමතක වෙන සයිස් එකක් ආවේය. එහි ප්‍රතිපලයක් වශයෙන් මීට අවුරුද්දකට පමණ පෙර සල්මන් රුෂ්ඩි ලන්ඩනයේ පැවැති ප්‍රසිද්ධ සාහිත්‍ය දේශනයකට සහභාගි විය. ඒ අතර හිටි ගමන් වේදිකාවට පැන්න ආගමික අන්තවාදියෙක් සල්මන් රුෂ්ඩිගේ මූණට පිහියෙන් ඇන්නේය. පිහි පාර ඔහුගේ නාසයට වැදින. සල්මන් රුෂ්ඩි යනු සාමාන්‍යයෙන් දිග නාසිකාවක් හිමි පුද්ගලයෙකි. නහය දිග නිසා එයින් කෑල්ලක් අඩු වුණත් කමක් නැති තත්ත්වයක් ඔහුට තිබේ. කෙසේ හෝ වේවා සල්මන් රුෂ්ඩි මේ වනවිට නැවතත් under ground ගොස්ය.

මිනිසකුට පහරදෙන විට පහර නොදිය යුතු තැන් කිහිපයක් තිබේ. ඒ වූකලී ඒ මිනිසාගේ ආගම, ජාතිය, කුලය, ප්‍රේමය යන කාරණාවන්ය. සල්මන් රුෂ්ඩි මෙය තේරුම්ගත්තේ නැත. ඒ නිසා තව පොඩ්ඩෙන් ඔහුගේ නහයෙන් භාගයක් අහිමි වන තැනට වැඩේ සෙට් වන්නේය. පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුට ද මේ මඟුල නොතේරේ. ඔහු ද තම නාසය, කන් දෙක සහ සෙසු ශාරීරික උපාංග ප්‍රවේශම් කරගත යුතුය. ජෙරම් කට පරිස්සම් කරගත්තා නම් පෙරකී කිසිවක් පරෙස්සම් කරගැනීමට අවශ්‍ය නැත. එහෙත් දැන් ප්‍රමාද වැඩිය.

Enlightenment යනුවෙන් වචනයක් ඉංග්‍රීසි භාෂාවේ තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් බුදුන් වහන්සේ හඳුන්වනු ලබන්නේ The Enlightened one යනුවෙනි. මේ වචනයට තේරුම් කිහිපයක් තිබේ. බුද්ධත්වය, අවබෝධය, සම්බෝධිය, සම්භෝධ්‍යය, ආලෝකය, ආලෝකනය යනාදිය එයින් කිහිපයකි. ජෙරම් ප්‍රනාන්දු තරුණයා බුදුන් වහන්සේ පිළිබඳ කතා කිරීමේදී ආලෝකය සහ ආලෝකනය යන වචන දෙක පමණක් අල්ලාගෙන ඉතිරි තේරුම් හතරම අත්හැර දැමුවේය. බුදුන් වහන්සේ ආලෝකය සොයාගිය බවත් ක්‍රිස්තුස් වහන්සේ සතුව ආලෝකය තිබුණු බවත් ජෙරම් ප්‍රනාන්දු දේශනා කරන්නේ Enlightenment නමැති වචනයේ තේරුම සුදුසු තැනින් නොව වලිගයෙන් අල්ලාගත් නිසාය. මේ නිසා හටගත් ආගමික නොසන්සුන්තාවයේ අතුරුපලයක් වශයෙන් ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට නිගාකළ බව කියමින් දැනටමත් CID එකට පැමිණිල්ලක් ලැබී තිබේ. ජෙරම්ගේ කතාව දේව අපහාස නීතිය යටතේ අර්ථ නිරූපණය කළ හැකිද යන්න අපි නොදනිමු. එහෙත් නාන්නට ගිය ජෙරම් තරුණයා සබන් ගාන විට වතුර කපාදමා තිබේ. ඒ නිසා ඔහුට සිදුවී ඇත්තේ සබන් සෝදා ගැනීමට නොව පිසදා ගැනීමට ය. හැබැයි සබන් පිසදැමූ විට ඇඟේ අල්ලන අල්ලන තැන ඇලවෙන බව අප මතක තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment