ජෙරොම්ගේ පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු වීමට ඇල්ලේ හිමිට අවසර

84

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට ඇල්ලේ ගුණවංශ හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 දා) අවසර ලබාදුන්නේය.

ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. එහිදී පෙත්සම්කාර ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මෙන්ම පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ද විරුද්ධත්වයක් නොදැක්වූහ.

අතරමැදි පෙත්සම්කාර ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්වආගමික පූජකවරුන් හයදෙනකු එකී දේවගැතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන ජුලි 28 වැනිදාට වෙනත් මහාධිකරණයක් මේ වනවිටත් දින නියම කර ඇති බවට දෙපාර්ශ්වය කරුණු දැක්වීම නිසා මෙම පෙත්සම් දෙක ද ලබන ජුලි 28 වැනිදා එම විනිසුරු මඩුල්ල හමුවේදීම කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල ඉදිරි සති දෙක ඇතුළත සීමිත විරෝධතා තම අධිකරණය හමුවේ ගොනු කරනා ලෙසට ද සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ තේජිත කෝරලගේ, උදාර මුහන්දිරම්ගේ, නාමල් කරුණාරත්න යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment