ජෙරොම්ගේ විකෘති ප්‍රකාශ සංහිඳියාවට බරපතළ තර්ජනයක් – ජෙරොම් ඊයේ රටින් පැනලා – ආගම්වාදය අවුස්සන අයගෙන් ප්‍රවේශම්වන්න – – අගරදගුරු මැඳුරේ මාධ්‍ය හමුවදී සිරිල් ගාමිණී පියතුමා

134

බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක් නොමැති හා කතෝලික පූජා ප්‍රසාදියකු ද නොවන අයකු බවත්, මූලධර්මවාදී ප්‍රකාශ හේතුවෙන් මේ රටේ පවතින ආගමික සංහිඳියාව තර්ජනයට ලක්වී ආගමික ගැටුම් ඇතිවීම දක්වා දුරදිග යෑමේ අවදානමක් පවතින බැවින් ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් කතෝලික සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා විසින් සිය දේශනවලදී බුදුදහමට අපහාස වන පරිදි අදහස් දැක්වීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය දැනුම්දීම සඳහා (16 දා) අගරදගුරු මැඳුරේදී කතෝලික ජනමාධ්‍ය පර්ෂදයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

බෞද්ධ, හින්දු හා ඉස්ලාම් සහෝදර සහෝදරියන්ට සිත් වේදනා ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයනට අපහාස වන අයුරින් ද රටේ ආගමික එක්සත් බව හා සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා විසින් කරන ලද ප්‍රකාශය තරයේ හෙළාදකින අතර එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කරමු.

එහිදී කතෝලික සභාව සිය ස්ථාවරය දක්වමින් කරන ලද ප්‍රකාශයේ මෙසේද දැක්වේ.

පසුගියදා ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා විසින් සිය දේශනයකදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මේ රටේ ආගමික සංහිඳියාවට බලවත් තර්ජනයක් එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. මෙම ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා කතෝලික පූජා ප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ පුද්ගලයකු නොවන බව පළමුව අවධාරණය කරමු.

තමන් කැමැති ආගමක් ඇදහීමට සහ තමන් අදහන ආගම දේශනා කිරීමට සෑම පුරවැසියකුටම අයිතිය සහ නිදහස තිබුණ ද එමගින් කිසිදු ආගමික ශාස්තෘවරයකු හෝ ආගමික විශ්වාසයක් හෝ අපහාසයට සහ අවිචාරවත් ලෙස විවේචනයට ලක්කිරීමට නිදහසක් සහ අයිතියක් කිසිවකුට නැත. ඔහු විසින් සිදුකර තිබෙන අවිචාරවත් ප්‍රකාශය හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන්ගේ සිත් ද අනෙකුත් ආගම් කෙරෙහි විකෘති මත සහ අදහස්වලින් දූෂණය වීමේ අවදානම ද මෙහිලා සැලකිල්ලට ගත යුතුය.

මෙවැනි මූලධර්මවාදී ප්‍රකාශ හේතුවෙන් මේ රටේ පවතින ආගමික එක්සත් බව සහ සංහිඳියාව තර්ජනයට ලක්වී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානම ද බැහැර කළ නොහැකිය. විවිධ අන්තවාදීන් සහ දේශපාලකයන් විසින් මෑත ඉතිහාසයේ කරන ලද ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ආගමික සහ ජාතිවාදී ගැටුම් අවුළුවා, මේ රට තුළ මහා විනාශයකට මඟ පාදා එමගින් පටු වාසි ලබාගැනීමේ විනාශකාරී සහ ආත්මාර්ථකාමී වැඩපිළිවෙළක් දියත් වූ බව අපට මතකය. තවදුරටත් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ගෙන් පරෙස්සම් වන ලෙස මේ රටේ සාමය හා සංහිඳියාව අගයන ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා සබඳතා පවත්වන හා ඔහුට අනුග්‍රහය දක්වන නොයෙකුත් විදේශිකයන් පිළිබඳව ද ඔහුගේ ඇතැම් චර්යාවන් පිළිබඳව ද විවිධ කරුණු කාරණා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අනාවරණය වෙමින් තිබිණි. ඒ පිළිබඳ මේ දක්වා නිසියාකාර සොයා බැලීමක් සිදුකිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම පුදුමයට කරුණකි.

බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් සහෝදර සහෝදරියන්ට සිත් වේදනා ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයනට අපහාස වන අයුරින් ද රටේ ආගමික එක්සත් බව හා සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා විසින් කරන ලද ප්‍රකාශය අපි හෙළාදකින අතර එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කරමු.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික කතෝලික සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ද අදහස් දැක්වීය.

නෝමන් පලිහවඩන, පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment