ජෙරොම්ට එරෙහි පෙත්සම ජුලි 28 දා කැඳවයි

69

ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා සිදුකර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ගැනෙන ආගමික විසම්මුතිය බිඳහෙලන බරපතළ වැරදි බව පෙනී යන බැවින් පැමිණිලි ලද වහාම ඔහුට එරෙහිව විධිමත් විමර්ශනයක් ආරම්භ කළ බව නීතිපතිවරයා ඊයේ (24දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට එම ප්‍රකාශයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කොට තිබූ බවත් ඔහුට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට පියවර ගෙන තිබූ බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. සැකකාර දේවගැතිවරයා විදේශ ගතවී ඇතත් ඔහුට එරෙහිව සිදුකරන විමර්ශන කිසිසේත්ම අඩපණ වීමට තම දෙපාර්තමේන්තුව ඉඩ නොතබන බවත් එහිදී අධිකරණයට පැවැසූ ජ්‍යෙෂ්ඨ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඔහු කර ඇති ප්‍රකාශයට නිසි දඬුවම් ලබාදීමට ගත හැකි උපරිම පියවර ගන්නා බවද අධිකරණයට පැවසීය.

රටේ පවතින ජාතික හා ආගමික සහජීවනයට හානියක් වන ආකාරයෙන් හා බෞද්ධ ධර්මය ඇතුළු සෙසු ආගම්වලට නින්දා වන ආකාරයෙන් දේශන පවත්වා ඇති ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා භික්‍ෂූන් වහන්සේ ඇතුළු සර්ව ආගමික පූජකවරුන් ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම සඳහා ලබන ජුලි 28 වැනිදා කැඳවීමට ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරු ඊයේ (24දා) නියෝග කළහ. ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල් තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවි තුමා එම පෙත්සම ගොනු කළහ.

පොලිස්පති, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සබීනා හමන් මෙනවිය හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටි අතර නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment