ජෛවවිවිධත්වය සුරැකීමේ අපේ වගකීම

409

ලෝක ජෛවවිවිධත්ව දිනය අදට, එනම් මැයි මස 22 වැනිදාට යෙදී තිබේ. සෑම වසරකම අද වැනි දිනක ලෝක ජෛවවිවිධත්ව දිනය සැමරෙන්නේ ලෝකයේ පැවැත්ම සඳහා අනුපමේය දායකත්වයක් සපයනු ලබන ජෛවවිවිධත්වය සංරක්ෂණය සඳහා ලෝක ප්‍රජාව ඒ වෙත නැඹුරු කරවීම සඳහාය.

ජෛවවිවිධත්වය යනු ජීව ලෝකයේ පවතින ක්ෂුද්‍ර ජීවීන්ගේ පටන් ශාක හා සතුන්ගේ මෙන්ම, අජීවී පරිසර පද්ධති ඉහත ජීවීන් සමග කෙරෙන අනතර් ගනුදෙනුවල එකතුවක් ලෙස සරලව දැක්විය හැකිය. එසේම, ජෛවවිවිධත්වය යනු ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය හා පරිසර පද්ධති විවිධත්වය යන තුන් ඈඳුණු සංකීර්ණයක් ලෙස ජීව විද්‍යාවේදී කියා දෙයි. කෙසේ හෝ වර්තමානයේ ලෝක ජෛවවිවිධත්වය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති අතර, මේ නිසාම ලෝක වැසියන්ගේ, සමස්ත ශාක හා සත්ත්ව ප්‍රජාවගේ පැවැත්මට එමගින් සුවිශාල බලපෑමක් ඇති කරන බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත. එය කෙතරම් බරපතළ තත්ත්වයක්ද යත්, 6 වැනි මහා ජෛව වඳවීමට අප ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටින බවට විද්වත්තු අනතුරු හඟවති. (මීට පෙර 5 වතාවක් මිහි මතින් සම්පූර්ණයෙන්ම ජීවය වඳව ගිය බවට විශ්වාසයක් පවතී.) එහි නියත ප්‍රතිඵලය ලෝක ආහාර නිෂ්පාදනයට එමගින් සිදුවන බලපෑමයි. නොහොත් ආහාර සුරක්ෂිතතාව බිඳවැටීම එමගින් සිදුවේ. ලෝකය ආර්ථික අර්බුදයක ගතකරන මෙම කාලය සහ ආහාර අර්බුදයක් කරා ගමන්කරන අභියෝගාත්මක කාල පරිච්ඡේදයක ජෛවවිවිධත්වය සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග නොගතහොත් එය ලෝකයට දරුණු බලපෑම් ඇති කරනවා නියතය. එනම්, ලෝක ආහාර සැපයුම, ආහාර විවිධත්වය, යනාදී දෑ තීරණය කරනු ලබන සාධකය ජෛවවිවිධත්වයම මිස අනිකක් නොවේ. එබැවින් ලෝකය සමග එක්වී ශ්‍රී ලාංකිකයන් වන අපද ජෛවවිවිධත්ව දිනය සැමරුමට ලක් කළ යුතුව ඇත.

වර්තමානයේ ලෝක ජෛව විවිධත්වය හානියට ලක්වීම සඳහා බලපා ඇති ප්‍රධානතම ස්වභාවික සාධකය දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑමයි. මේ මගින් ක්ෂුද්‍රජීවීන්ගේ, මත්ස්‍යයින්ගේ උභයජීවීන්ගේ, කෘමීන්ගේ වැනි ඉතා සංවේදී ජීවීන්ගේ ජීවන චක්‍රවලට බලපෑම් සිදුකර ඔවුන්ගේ විවිධත්වය සහ සංඛ්‍යාව ඉතා වේගයෙන් පහළ දමන අතර, ඒ මගින් ආහාර දාම හා ආහාර ජාල වල ඉහළ සිටින සියලු සත්ත්ව කාණ්ඩවල ආහාර සැපයුම අඩාල කරවයි. ලෝකයේ අධි ජෛවවිවිධත්වයක් පවතින කොරල්පරවල මිය යෑම සහ විනාශය මීට නිදසුනකි. ඒ අනුව මුහුදු ආහාර සැපයුම දැඩිව අඩාල වනු ඇත.

තවත් අතකින් ජෛවවිවිධත්වය අධික කෙත් වතු ඇතුළු තෙත්බිම්වල ජල මට්ටම් වැඩිවී ආහාර නිෂ්පාදන ඵලදායිතාව බිඳ දමයි. මෙවන් ස්වභාවික හේතූන් අතලොස්සක් අතර, මිනිසා විසින් කරනු ලබන ජෛවවිවිධත්ව හායනය අද ලෝකය මුහුණ පා ඇති බරපතළම ගැටලුවයි. එනම්, සම්පත් අධි පරිභෝජනය ඇතුළු හිතා මතා කරනු ලබන පාරිසරික විනාශකාරී ක්‍රියා ලෝකයෙන් ජෛවිවිධත්වය වේගයෙන් තුරන් කිරීමට බලපා ඇත. බලවත් රටවල් මගින් හා බලවත් කණ්ඩායම් මගින් සිදුකරනු ලබන සාගරවල මත්ස්‍ය අධි පරිභෝජනය නිසා මත්ස්‍ය සම්පත් විශාල ලෙස හානියට ලක්වෙමින් පවතී. ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් පැමිණ “බොටම් ට්‍රෝලින්” ක්‍රමයට මසුන් මැරීම මගින් වර්තමානයේ උතුරු මුහුද මළ මුහුදක් බවට පත්කිරීම මුහුදේ ජෛවවිවිධත්වය විනාශයට හොඳම නිදසුනකි. එසේම, ඇමසෝන් වනාන්තරයේ හෝ, කොංගෝවේ හෝ ශ්‍රී ලංකාවේ සිංහරාජයේ, කැබිලිත්තේ, කන්දකාඩුවේ, සොරගුණේ හෝ කොතැනක හෝ සිදුවන වනාන්තර විනාශයද ජෛවවිවිධත්ව විනාශයකි.

එනම්, අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සෑම දිනකම මිනිසා නම් වන අප අතින් ජෛවවිවිධත්ව විනාශයක් (හානියක්) සිදුවන අතර, සෑම දිනකම පාහේ ජීව විශේෂ සැලකිය යුතු ප්‍රමාණයක් යළිත් ආපසු නොඑන්නටම මිහිමතින් සදහටම වඳවී යෑම සිදුවේ. එසේ හෙයින් ජෛවවිවිධත්වය යනු අපේ ඇස, කන, නාසය, හදවත තරමටම සුරැකිය යුතු සම්පතක් වන අතර, ජෛව විවිධත්වය සඳහා ශ්‍රී ලාංකිකයන් වන අප ඉඳුරා ක්‍රියාකළ යුතුද වෙමු.

ශ්‍රී ලංකාව යනු ආසියානු කලාපයේ ජෛවවිවිධත්වය අතින් ඉතා ඉහළින්ම සිටින රටකි. ශ්‍රී ලංකාව හඳුන්වන්නේ “බයෝ ඩයිවර්සිටි හොට්ස් පොට්” එකක් ලෙසිනි. නොහොත් ජෛව විවිධත්වය අතින් “ඉතා පොහොසත්” රටකි. (සමහරු මෙය “ජෛවවිවිධත්ව උණුසුම් කලාපයක්” ලෙස හැඳින්වීම නිවැරදි නොවේ.) එබැවින් ජෛවවිවිධත්ව සංරක්ෂණ වගකීම දරන රටක් ලෙස ශ්‍රී ලාංකික අපටද අද (22දා) දිනය ඉතා වැදගත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment