ජොකොවික් නඩාල් සම කරයි

183

පසුගියදා නිමාවට පත් වූ ඔස්‌ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා තරඟාවලියේ පිරිමි කේවල ශුරතාවය ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩකයෙකු වන සර්බියාවේ නොවැක් ජෝකොවික් විසින් දිනා ගනු ලැබූ අතර කාන්තා කේවල ශුරතාවය බයිලෝ රුසියාවේ නවක ක්‍රීඩිකාවක වන අරිනා සබැලෙන්කා විසින් දිනා ගත්තාය.

මෙහිදී ඔස්‌ට්‍රේලියානු පිරිමි විවෘත ටෙනිස් ශුරතාවය 10 වැනි වරටත් දිනා ගනු ලැබූ 35 හැවිරිදි වියෙහි පසුවන සර්බියානු ජාතික නොවැක් ජෝකොවික් පිරිමි අංශයෙන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවන් 22ක් දිනා ගනිමින් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් විසින් තබා ඇති වාර්තාව සම කිරීමට සමත් විය. අවසන් තරඟයේදී ජෝකොවික් ග්‍රීක ජාතික ස්ටෙෆානොස් සිට්සිපාස්ව 6-3 ,7-6, ,7-6 වශයෙන් තරඟ වට 3-0කින් පරාජයට පත් කළේය. ඔස්‌ට්‍රේලියාවේ මෙල්බර්න් පාක් ක්‍රීඩාංගනයේ පැවති මෙම අවසන් මහා තරඟය ජය ගැනීමත් සමගම ජොකොවික් ලොව ටෙනිස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක එක ස්ථානයට පත්ව සිටී.

මේ අතර වසරේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා තරඟාවලිය වන ඔස්‌ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා තරඟාවලියේ කාන්තා කේවල ශුරතාවය දිනා ගත් 24 හැවිරිදි බයිලෝ රුසියානු ජාතික ක්‍රීඩිකා අරිනා සබැලෙන්කා අවසන් තරඟයේදී කසකස්තාන ක්‍රීඩිකා එලේනා රිව්බකිනාව 4-6,6-3,6-4 වශයෙන් තරඟ වට 2-1කින් පරාජයට පත් කළාය. මෙය සබැලෙන්කා විසින් දිනාගත් ප්‍රථම ඔස්‌ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාව මෙන්ම ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවයද වේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment