ජොකොවික් පිටුවහල් කළාට සර්බියාවෙන් විරෝධය

524

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටි ලොව සුපිරි ටෙනිස් කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකොවික් ඔස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කිරීම තමන්ට කළ අවමානයක් ලෙස සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩාර් වුසිස් ප‍්‍රකාශ කරයි.

 කොවිඞ් එන්නත ලබා නොගෙන ඔස්ටේ‍්‍රලියාවට ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලූව මත නොවැක් ජොකොවිස්ගේ වීසා බලපත‍්‍රය අවලංගු කර ඔහුව යළි සර්බියාවට පිටුවහල් කිරීමට ඔස්ටේ‍්‍රලියා අධිකරණය දෙවැනි වරට තීරණය කළේය.

 ඔස්ටේ‍්‍රලියාවේ ආගමන හා විගමන ඇමැතිවරයා නොවැක් ජොකොවික් කොවිඞ් එන්නත ලබානොගෙන එරටට පැමිණීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිලි කිරීමෙන් පසුව පළමු වරට එම නඩුව විභාග කිරීමේදී ජොකොවික් ඉන් ජය ලබා ගත්තේය.

 එහෙත් ආගමන විගමන ඇමැතිවරයා දෙවැනි වරටත් ජොකොවික්ගේ ප‍්‍රශ්නය අධිකරණය හමුවේ තැබූ අවස්ථාවේදී කරුණු සලකා බැලූ ඔස්ටේ‍්‍රලියානු අධිකරණය ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය අවලංගු කර ඔහුව සර්බියාවට පිටුවහල් කිරීමට තීන්දු කළේය.

 ඔස්ටේ‍්‍රලියා විවෘත ටෙනිස් ශූරතාවලිය ආරම්භයට පැය 24කට පෙර ජොකොවික්ව හරවා යැවුණු අතර ඉන් කෝපයට පත් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩාර් ඒ පිළිබඳව මෙසේ පැවසුවේය.

 ”මෙය අපට කළ අවමානයක්’’ එරට ඔලිම්පික් කමිටුව ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ ඔස්ටේ‍්‍රලියාව අපකීර්තිමත් තීරණයක් ගත් බවයි.

 ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය 6 වතාවක් ජයගෙන ඇති ජොකොවික් මෙවර එම ශූරතාවය ජය ගත්තේ නම් විවෘත ටෙනිස් ශූරතාවයක් 21 වතාවක් ජය ගත් ලොව එකම කී‍්‍රඩකයා වීමට ඉඩ තිබිණි.

 කෙසේ වෙතත් ඔස්ටේ‍්‍රලියා ආගමන හා විගමන නීති රීති අනුව තව වසර 3 කට ඔස්ටේ‍්‍රලියාවට යෑමට ජොකොවික්ට නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment