ජොනීට ඇප: ලක්‍ෂ දහයක ශරිර ඇප දෙකක්

240

අභියාචනාධිකරණ නියෝග පරිදි අධිකරණයට භාර වූ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (09 දා) නියෝග කළේය.

තම අධිකරණය විසින් ලබාදුන් කාලය අවසන් වනතුරු පෙත්සම්කරුව අත්අඩංගුවට නොගන්නා ලෙස ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල රාත්‍රී 8.00ට පෙර ඔහු අධිකරණයට භාර නොවුණොත් සුදුසු පරිදි කටයුතු කිරීමේ හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතැයි ද එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය. අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටින සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු රාත්‍රී 8.00ට පෙර අධිකරණයට භාරවීමක් සිදුකළහොත් ඔහුට අගතියක් වන පරිදි නියෝගයක් ලබා නොදෙන ලෙසට ද විනිසුරු මඩුල්ල කොටුව මහෙස්ත්‍රාත්වරයාට එමගින් නියෝග කළේය.

විමර්ශන නිලධාරීන්ගේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව නම් කර ඇතත් ඔහු තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ලබා දෙනතුරු ඒ අනුව කටයුතු නොකරන ලෙසට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝගයක් නිකුත් කළේය.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (08 දා) නිකුත් කළ වරෙන්තු නියෝගය අනුව කටුයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ද විනිසුරු මඩුල්ල එහිදී නිකුත් කළේය.

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර පිටියේදී සාමකාමී අරගලකරුවන්ට පහරදීම සඳහා එදින අරලියගහ මන්දිරයට රැස්වූ ජනතාව පෙළඹවූයේ යැයි චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන වෑයම වළක්වන ලෙස හා සැකකරුවකු ලෙස නම් කර තිබීම අනුව කටයුතු කිරීම වළක්වන රීට් ආඥාක් නිකුත් කරන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සමක් සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය. එම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 21 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එම සැකකරුට එරෙහිව එල්ලවී ඇත්තේ ඉතා බරපතළ චෝදනා වන බැවින් ඔහු ඉල්ලා ඇති සහන ලබා නොදෙන ලෙසත් පෙත්සම් විභාගය සඳහා අවසර නොදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් ඩී. ආබෲ මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ද පෙනීසිටි අතර ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සමග ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න යන මහත්වරුන් කරුණු දැක්වූහ.

පෙත්සම්කරුව එකී විමර්ශනවල සැකකරුවකු ලෙස නම් කිරිමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අධ්‍යයනය කර සෑහීමට පත් වීමෙන් පසුව වන බැවින් හා අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත්තේ සියලු සාක්ෂි මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වන බැවින් එකී උපදෙස් හා නියෝගවලට අගතියක් වන පරිදි නියෝග ලබා නොදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී. ආබෲ මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment