ජොනී අයුතු ජනරාශියක් ඇති කිරීමේ බරපතළ වරද කරලා- නීතිපති උසාවියට කියයි

354

‘දැන් තමයි වේලාව සටන ආරම්භ කරන්න’ යැයි පාර්ලිමේන්තු මන්ති්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති ජන හමුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මඩුල්ලේ නිර්දේශ අනුව හා සිදු කළ විමර්ශන අනුව 28 වන සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ජනරාශියක් ඇති කිරීමේ බරපතළ වරද සිදු කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය ඊයේ (22 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නාය.

මයිනාගම හා ගෝඨාගෝගමදී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ බව අධිකරණයට පෙන්වා දුන්නාය.

තමන්ගේ උපදෙස් නොමැතිව කිසිවකුට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙසට සූම් තාක්ෂණය ඔස්සේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී කොළඹ ප්‍රදේශයේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සුද්ධ නොකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22 දා) දැඩිව අවවාද කළේය. ප්‍රමාණවත් කරුණු ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබියදීත් ඒ අනුව කටයුතු නොකර දේශබන්දු තෙන්නකෝන් විමර්ශන භාරව සිටින සහකාර පොලිස් අධිකාරිවරයා පක්ෂග්‍රාහී ලෙසින් කටයුතු කරනා බව පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔහු සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී පොලිස්පතිවරයාට නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුගේ සීමාව තුළ සිට සාධාරණ අයුරින් කටයුතු කර ඇති නමුත් ඒ පිළිබඳව නොතකා කටයුතු කරනා විමර්ශන නිලධාරීන් මහමඟ වතුර බෝතලයක් අතැතිව සිටිනා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අරගලකරුවන්ට පහරදුන්නේ යැයි චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීම පුදුම සහගත වන්නේ යැයි ද පෙන්වා දෙමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම නඩුවේ 28 වන සැකකරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගිය 9 වැනිදා ලබාදුන් නියෝගය මේ වනවිට බලශුන්‍ය කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අගතියට පත් පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් පසුගිය 9 වැනිදා අභියාචනාධිකරණයේ නියෝග මත ඇප මත මුදාහැර ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප කොන්දේසි කිසිවක් කඩ කර නැති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඔහුට රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

එම නඩුවේ 6 වන සැකකාර ඩෑන් ප්‍රියසාද් නමැත්තා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු තව සැකකරුවන් පස්දෙනකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් වූ ඇපමත මුදාහැරීමට ද අධිකරණය එහිදී නියෝග කළේය.

එම පහරදීම සිදුවූයේ දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරි පැහැර හැරීම නිසා වන බැවින් ඔහු එම අපරාධයේ ප්‍රධාන සැකකරුවකු විය යුතු බව පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වූහ.

යම්කිසි විමර්ශනයක සැකකරු බවට යමෙකු නම් කිරීමේ නීතිමය බලය ඇත්තේ විමර්ශන නිලධාරීන්ට මිස සෙසු පාර්ශ්වවලට නොවනා බැවින් සිය සේවාදායකයා සම්බන්ධයෙන් එකී පාර්ශ්ව ඉල්ලා සිටින නියෝග නිකුත් නොකරන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නෆිල් පාරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා සමග නෆිල් පාරිස් මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ අසේල මොරගොල්ල, චානක අබේවික්‍රම ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment