ජොනී – සනත් – පවිත්‍රා දේශබන්දු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගෙන උසාවි ගේන්න

699

* මහින්ද ගැන ඉදිරි පියවර විමර්ශන අධ්‍යයනයෙන් පසු

* පොලිස්පතිට හා සීඅයිඩීයට නීතිපතිගෙන් නියෝග

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර පිටියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ එම ප්‍රහාර මැඬපැවැත්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු 22 දෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (16 දා) නියෝග කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු එම 22 පිරිස සම්බන්ධව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන ගොනු සලකාබැලූ නීතිපති සංජේ රාජරත්නම් මහතා එම නියෝගය කළේය.

එම පිරිස ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා හා නගරසභා නියෝජිතයන් අරලිගහ මන්දිරයට කැඳවා ඔවුන් හමුවේදී අදහස් දැක්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවල ප්‍රගතිය විමර්ශන නිලධාරීන් විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

එම විමර්ශන ගොනු වැඩිදුරටත් අධ්‍යයනය කර ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සුදුසු උපදෙස් ඉදිරියේදී ලබාදෙන බව ද නීතිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment