ජෝති  අප අතර සැමදා ජීවත් වෙනවා

177

රටක් ආදරය කළ අමරණීය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මියගොස් මේ මස 07 වන දින (අද) ට වසර 35ක් සම්පූර්ණවේ. ඔහු මියගියද ඔහුගේ ගීතාත්මය තවමත්, මතු මතුත් ජීවමානය. දිනපතා සවනට වැකෙන ඔහුගේ ගීතවලට අමතරව සෑම වසරකම ඇසල මස 07 වන දින ජෝති අනුස්මරණය කිරීම පිණිස විවිධ රසික පර්ෂද විසින් පවත්වනු ලබන සමරු උත්සව බොහෝය. ගීතයත් ජීවිතයත් දෙකක් නොව එකක් සේ සලකමින් මෙරට ගීත සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් සිදුකළ ප්‍රවීණ ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල පිළිබඳ මෙවර ‘වටමඬල’ හා සංවාදයට එක්වන්නේ ජෝති හා සමීප ඇසුරක් සිදුකළ පුද්ගලයකු ලෙස බොහෝ දෙනෙක් තුළ ප්‍රකට මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහය.

ජෝති  අප අතර සැමදා ජීවත් වෙනවා
ජනප්‍රිය නළු නිලියන් වන ස්වර්ණා මල්ලවආරච්චි, රෝයි ද සිල්වා සහ රංජිත් එදිරිසිංහ සමග ජෝතිපාලයන්

● ඔබට ජෝතිව මුල්වරට මුණගැසෙන්නේ කවදද? කොතනකදීද?

 1969 වර්ෂයේ ගුවන්විදුලියෙ හඳ මාමා ළමා වැඩසටහනේ ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව මට උදාවෙනව. ඒ වනවිට මම අවුරුදු 10ක පමණ කුඩා ළමයෙක්. මා ගීතය ගායනා කරල ආපසු එනවිට ජෝති හා කරු අයියා (කරුණාරත්න අබේසේකර) ගුවන්විදුලියට එමින් සිටිය. මම එකපාරට ආපසු හැරිල ජෝතිපාල මහත්තයට කතා කළා. බොහොම සුහදව මා එක්ක කතා කළ එතුමා කොස්වත්ත, තලංගම ප්‍රදේශයේ ලිපිනයක් දීල ඕකට ලිපියක් එවන්න කියල ගුවන්විදුලිය ඇතුළට ගියා. ගෙදර ගිය ගමන් මම ඒ ලිපිනයට ලිපියක් තැපැල් කළා. දින කීපයක් ගතවීමත් එක්ක මගේ ලිපියට පිළිතුරු ලිපියක් ලැබෙනව. දැන් අවුරුදු 53ක් වෙනව. ඒ ලිපිය තවමත් මා ළඟ සුරැකිව තිබෙනව. එදා සිට ජෝතිපාල මහත්තය මියයන තුරුම අපි අතරේ සමීප ඇසුරක් පැවතුනා.

ජෝති  අප අතර සැමදා ජීවත් වෙනවා


● එවැනි හමුවීම් තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් මොනවද?

 ජෝති වරින් වර ප්‍රතිකාර ගන්න කොළඹ මහ රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් වෙනව. එහෙම වෙලාවක මම දවසක් එතුමව බලන්න රෝහලට යනව. අපි වාට්ටුවෙන් පිටත පුටු දෙකක වාඩිවෙලා කතා කරමින් ඉන්න අතරේ ඔහු සිගරැට්ටුවක් බිව්ව. එකපාරට ජෝති තමන් අතේ තිබුණ සිගරැට්ටුව බිම දාල පාගනව මම දැක්ක. ඒ පාර මම ඇහුව ඇයි කියල. ඒ පාර ඔහු ඈත එන කාන්තාවක් පෙන්වල කිව්ව මල්ලි අම්ම එනව කියල. තමන්ගෙ අම්මට අප්‍රමාණව ආදරය කළ ගෞරවය කළ මනුස්සයෙක් තමයි ජෝති කියන්නෙ. තවත් දවසක් මම ගම්පොල සිට ජෝතිව බලන්න කොළඹ එනව. කොළඹට එනකොට හොඳටම දවල් වෙලා. ජෝති ඒ වෙලාවෙ කෑම කන්න සූදානම් වෙනව. එයාගෙ බත් එක මට දීල මුනිදාස කියන මනුස්සයට කියල තව බත් එකක් ගෙන්න ගෙන තමයි ජෝති එදා දවල්ට කෑවෙ. කොපමණ ජනප්‍රිය චරිතයක් වුණත් ඒ වගේ පුදුමාකාර ගතිගුණ ඔහු ළඟ තිබුණ.

 ● මෙරට සංගීත ක්‍ෂේත්‍රයට ජෝති විසින් කරන ලද මෙහෙවර පිළිබඳ ඔබ ළඟ මොනවගේ තක්සේරුවක්ද තිබෙන්නෙ.

 ඔහු මියයන විට මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ වැඩිම වාර්තා කීපයක්ම ඔහු සතුව පැවතුණ. වැඩිම නළුවන් පිරිසක් සඳහා පසුබිම් ගායනා සැපයීම, වැඩිම

 ගායිකාවන් පිරිසක් සමග යුග ගී ගැයූ ගායකයා වීම, ගුවන් විදුලියේ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කළ

 ගායකයා බවට පත්වීම, වැඩිම කැසට් පට ප්‍රමාණයක් වෙනුවෙන් ගී ගැයූ ගායකයා වීම, ලංකාවෙ සංදර්ශන වේදිකාව තුළ වැඩිපුරම ගීත ගැයූ ගායකයා බවට පත්වීම ඒ වාර්තා අතරින් ප්‍රධාන තැනක් ගන්නව.

 ● ජෝති මියගොස් වසර 35ක් ගතවෙන මේ මොහොතේ ඔහුව ඔබට දැනෙන්නෙ කොහොමද?

 ඔහු ශාරීරිකව අප අතර නැතත් ඒ හඬ සදා රැව් පිළිරැව් දෙනව. ඔහුගේ ගී නිර්මාණ විසින් තවදුරටත් ජෝතිව අප අතර ජීවත් කරවනව. එදා ජෝතිට එරෙහිව නැගුණ චෝදනාවක් තමයි ඔහු ප්‍රබුද්ධයෙක් නොවෙයි කියන එක. නමුත් එතුම අප අතර අද නැතත් කාලය විසින් ඒ චෝදනාවට නිවැරදි උත්තරයක් දීල තිබෙනව. ඒ තමයි අද ඇතැම් ජනප්‍රිය ගායකයො ගයන ගීත එක්ක ජෝතිගෙ ගීත සංසන්දනය කරද්දී එදා ජෝති ගැයූ ගී මොන තරම් උසස් ද කියන එක. ඒ හින්ද තමයි අදත් තරු තෝරන තරගවල ජෝතිගෙ ගීත වැඩිපුර ගායනා කරන්නෙ.

 ● සංවාදය – රුවන්
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment