ජෝන් කීල්ස් සමූහය දරු උපතකදී මාතෘ-පීතෘ නිවාඩු ක්‍රමයක් හඳුන්වා දෙයි

245

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය තුළ විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය තහවුරු කිරීමේ උත්සාහයේ තවත් වැදගත් පියවරක් වශයෙන්, 2022 අගෝස්තු 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාතෘ සහ පීතෘ නිවාඩු සමාන ලෙස ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ඇත.

දරු උපතකදී හෝ දරුවෙකු හදා වඩා ගැනීමට ගැනීමේදී දරුවාගේ මවට හිමිවන දින 100 ක මාතෘ නිවාඩුව එලෙසින්ම ක්‍රියාත්මක වන අතර, මෙතෙක් දින 5 කට සීමා වී තිබූ පීතෘ නිවාඩුව දින 100 ක් දක්වා දීර්ඝ කර තිබේ. මෙය දරුවෙකු රැක බලා ගැනීමේදී මව සහ පියා යන දෙදෙනාටම වගකීම් පැවරෙන බව පිළිගනිමින්, සමානත්වය තහවුරු කිරීම සඳහා ගන්නා ලද පියවරකි. එමෙන්ම දරුවන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් සෑම පවුලකටම සුවිශේෂී වූ තත්ත්වයන් පවතින බැවින්, මෙම දින 100 නිවාඩුව නම්‍යශීලී ලෙස ලබාගත හැකි ආකාරයට සකස් කර තිබේ.

“මාතෘ හා පීතෘ නිවාඩු සමාන ලෙස ලබාදීමේ තවත් අරමුණක් වන්නේ, කාන්තාවන් සේවයට බඳවා ගැනීමේදී මාතෘ නිවාඩු සාධකය සැලකිල්ලට ගනිමින් ඔවුන්ට වෙනස් ලෙස සලකනු ලැබීමට ඇති ඉඩකඩ අවම කිරීයි. වසර 5 ක් තුළ අපගේ කාර්ය මණ්ඩලයේ කාන්තා ප්‍රතිශතය 40% ක් දක්වා ඉහළ නංවා ගැනීම ජෝන් කීල්ස් සමූහයේ එක් ප්‍රධාන ඉලක්කයක් වන බැවින්, සමූහයේ සාමාජික සාමාජිකාවන් සිය වෘත්තීය ජීවිතය තුළ මුහුණ දෙන, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් සියලුම ආකාරයේ අසාධාරණයන් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය දෙයක් බව අප විශ්වාස කරනවා.” ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment