ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා අනිද්දා සිට

132

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර ඇති “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා” කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භය අනිද්දා (10) පෙ.ව.9.00 ට සිදු කෙරේ.

හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලිය දින තුනකින් සැදුම්ලත් වන අතර එහි සමාප්ති උත්සවය ලබන ඉරිදා (12) පස්වරුවේ සිදු කිරීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

අවුරුදු 12 න් පහළ 13 න් පහළ 14 න් පහළ සහ 15 න් පහළ යන වයස් සීමාවන් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 3500 කි. එහිදී සෑම ඉසව්වකටම තරගකරුවන් 64 බැගින් සහභාගි වෙති.

ඒ සෑම ඉසව්වක දීම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා කුසලතා සහතික පිරිනැමීම කෙරෙහි ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය අවධානය යොමු කර තිබීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීම උදෙසා ක්‍රියාත්මක කරන ලද මූලික වටය කලාප 03 ක් ආශ්‍රිතව සිදු කෙරුණු අතර එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන තිබීම කැපී පෙනේ. මෙවර මූලික වටයට අවතීරණ වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 9000 කි.

අනාගත මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පෝෂණය කළ හැකි දක්ෂතා සපිරි කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තෝරා ඔවුන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ද ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. සිලෝන් බිස්කට්ස් සමාගමේ ‘රිට්ස්බරි’ අනුග්‍රහයෙන් මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment