ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – වෙන්නප්පුව සාන්ත ජෝශප් සහ ආවේ මරියා ශූරතා දිනති

127

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු 51 වැනි ‘ජෝන් ටාබට් අභියෝග කුසලාන’ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලක සමස්ත ශූරතාව දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 64ක් ලබා ගත් වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

බාලක අනු ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 50)ට හිමි වන අතර වාරයේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (ලකුණු 46) ට තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට හැකියාව ලැබිණි.

ප්‍රසාද ලකුණු 68 ක් සමගින් මෙවර බාලිකා සමස්ත ශූරතාව මීගමුව ආවේ මරියා බාලිකා විදුහල දිනා ගත්තේය. එකී අනු ශූරතාව උඩබුලත්ගම අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 65) තහවුරු කර ගත් අතර තෙවන ස්ථානය කොළඹ විශාඛා විදුහල (ලකුණු 55) සතු විය.

මෙම තරගාවලියේ සහාය දිවීමේ බාලක ශූරතාව ශාන්ත ජෝශප් වාස් විදුහල (ලකුණු 34) ට ද බාලිකා ශූරතාව අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 21) ට ද හිමි විය.

මෙම තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස වත්තල ලයිසියම් ජාතික පාසල නියෝජනය කළ තරුෂ මෙන්ඩිස් සම්මාන ලබන අතර වාරයේ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළේ වී.පී.එන්. සමාධි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබූවාය.

තරුෂ මෙන්ඩිස් සහ සමාධි අවුරුදු 15 න් පහළ උස පැනීම ඉසව්ව ජය ගැනීම සඳහා ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස නම් කිරීමට සංවිධායකයින් වූ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය තීරණය කළේය.

මෙවර තරගාවලියේ දක්ෂතම දුර පනින්නිය ලෙස ලෙස වත්තල ලයිසියම් ජාතික පාසලේ ශේෂා උමායා රත්නායක සම්මාන ලැබූ අතර අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ යූ.එම්. සංසලා හිමාෂා වසරේ දක්ෂතම මීටර් 400 ජවන ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ දී නව තරග වාර්තා 16 ක් බිහි කිරීමට ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනුණි. ඒ අතර පැවති වාර්තාව සම කිරීමක් ද විය.

ගේට්වේ ජාත්‍යන්තර පාසල (අවුරුදු 12 න් පහළ බාලක) මහනුවර ත්‍රිත්ව විදුහල (අවුරුදු 13 න් පහළ බාලක), වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (අවුරුදු 14 න් පහළ බාලක), ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (අවුරුදු 15 න් පහළ බාලක), මීගමුව ආවේ මරියා බාලිකා විදුහල (අවුරුදු 12 න් පහළ බාලිකා), බෙන්තොට ගාමිණී විදුහල (අවුරුදු 13 න් පහළ බාලිකා), කඩවත මහාමායා බාලිකා විදුහල (අවුරුදු 14 න් පහළ බාලිකා), අඹගමුව මධ්‍ය මහා විදුහල (අවුරුදු 15 න් පහළ බාලිකා) යන වයස සීමාවන්හි ශූරතා දිනා ගනිමින් කැපී පෙනුණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment