ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දෙසැම්බරයේ

293

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කර මෙහෙයවනු ලබන ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සුපුරුදු පරිදි අදියර දෙකක් යටතේ පැවැත්වීමට පියවර ගෙන තිබේ.

මෙහි පළමු අදියර කලාප ත්‍රිත්වයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී ජයග්‍රහණ හිමි කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ‘ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා කුසලාන’ ප්‍රදානය කෙරෙන අවසාන තරගාවලියට සහභාගි කරවා ගැනීමට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙන බව එහි ලේකම් නිමල් මධුසිංහ මහතා අනාවරණය කළේය.

ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 08, 09 සහ 10 යන තෙදිනයන්හි ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෝ හෝමාගම, දියගම ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අවුරුදු 12 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 14 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේය.

ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ මුල් වටයේ තරග කලාප තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි පළමුවැන්න අගෝස්තු මස 05, 06 සහ 07 යන දිනවල මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ද දෙවැන්න අගෝස්තු මස 12, 13 සහ 14 යන දිනවල වයඹ, උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ද තෙවැන්න අගෝස්තු මස 19, 20 සහ 21 යන දිනවල බස්නාහිර සහ දකුණු පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ද පැවැත් වීමට තීරණය කර තිබේ.

මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස 13, 14, 15 සහ 16 යන සිව් දිනයන්හි හෝමාගම පිහිටි දියගම ක්‍රීඩා සංකීර්ණ භූමියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

අවුරුදු 18 න් පහළ සහ අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ ජ්‍යෙෂ්ඨ තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව මෙහෙයවනු ලබන ප්‍රධානතම තරගාවලියන් ද්විත්වය ‘ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන අතර එය

පසුගිය දෙවසර තුළ දක්නට නොලැබීම ද කැපී පෙනුණි. ඒ ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඩ් -19 තත්ත්වය හමුවේ ය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment