ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

91

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

2016 වසරේ දී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වෙත පසුගිය මාර්තු මස 28 දින වසර හතරක සිරදඬුවමක් නියම කරන ලදී.

මෙම ස්ථවිරයන් පසුගිය කාල වකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදිකරමින් කටයුතු කළ අතරම සමාජය තුළ පැවැති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ද පියවර ගනිමින් කටයුතු කර ඇත. ඒ තුළින් ලාංකීය සමාජය තුළ ව්‍යාප්තවීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසකි.

ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන්ගේ එම ක්‍රියාකලාපය සමාජයේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වූ අතරම රට තුළ ජාතීන් අතර ඇතිවීමට ගිය දැවැන්ත ගැටුම් වළක්වා

ගැනීමටද හේතුවූ බව නොරහසකි. තවද එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරයද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් කටයුතු කර ඇති බව පැහැදිලිය. කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමු කොට වෙසක් පුණ්‍ය මහෝත්සවයද නිමිතිකොට ගෙන

ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වෙත ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවැයි හිතධ්‍යාශයෙන් යුතුව සිහිපත් කර සිටිම්හ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment