‘ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ’ අනිල් භාරතී මාවත නම් කෙරේ

863

‘‘පුරා දශක පහක් හෙමින් ගිය ගමනක් කියලයි මට හිතෙන්නේ. ඒ කාලේ පානදුර ප‍්‍රදේශයේ තිබුණා ‘‘ රේන්ජර්ස් ’’ කියලා ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ ඉංග‍්‍රීසි ගීත ගායකයා වුණේ මමයි. පසුව එවකට ලංකාවේ තිබූ ‘‘ගෝල්ඩන් චයිම්ස්’’ සංගීත කණ්ඩායමට එකතු වුණා. එම කණ්ඩායමේ බටහිර ගීත ගායකයා වෙන්නෙත් මමයි.’’

මෙසේ කියන්නේ අඩසියවසක කාලයක් ගීතයෙන් සවන් යුග පිනවූ අනිල් භාරතීය. මුල් කාලයේ බටහිර ගීත ගායනා කළ ඔබ සිංහල ගීත ගායනයට යොමු වන්නේ කොහොමද ? එක්තරා සුවිශේෂී හමුවකදී අප ඔහුගෙන් විමසුවෙමු.

ඉංග‍්‍රීසි ගීත ගායනා කරපු මාව සිංහල ගීත කියන්න යොමු කළේ ප‍්‍රවීණ සංගීතවේදී දිවංගත ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයයි. එදා ඔහු හදලා දීපු,

‘‘අද වෙයි ඉරු දින
ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද
අද නොතැවේවිද …..’’

ගීතය මගේ ගායන ජීවිතේ වෙනස් කළා. ක්ලැරන්ස් සින්දු හදන්නේ ගායකයාගේ කටහඬට. එහෙම කලාකරුවෝ අද නැහැ. මගේ ගායන ජීවිතයේ හැරවුම් ලක්ෂය ක්ලැරන්ස් විජේවර්ධනයි. මං ගායනා කළ ‘ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ’ සිරිපොද වැස්ස කැසට් පටයට ගායනා කළ කරදිය රැල්ලේ, බෙත්ලෙහෙම්පුරේ යන ගීත රසිකයන් අතර ඉතාමත් ජනප‍්‍රිය වුණා.

බෙත්ලෙහෙම්පුරේ වගේ වඩාත් ජනප‍්‍රිය ගීතයක් ඔබට ගයනා කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳ ඔබට මොනවද හිතෙන්නේ?

ඇත්තෙන්ම ඒක මට දෙවියන් වහන්සේ දුන් ආශිර්වාදයක්. එම අවස්ථාව හැමෝටම ලැබෙන එකක් නැහැ. එම ගීතය නත්තල් දිනවල හැමෝම බලාපොරොත්තු වන ගීතයක්. විශේෂත්වයක් තියෙන්නේ කරුණාරත්න අබේසේකර ශූරීන් එම ගීතය රචනා කිරීමයි. වෙසක්දාට මොහිදින් බෙග් මහත්තයා ගායනා කරන ‘ බුද්ධං සරණං ගච්ඡාමි ’ ගීතය වගේම නත්තලට මං ගායනා කරන බෙත්ලෙහෙම්පුරේ ගීතය හරි ජනප‍්‍රියයි.

එදා තිබූ ජනප‍්‍රියත්වය අදටත් එක සේ රඳවා ගැනීමට ඔබ සමත් වෙලා තියෙනවා ඒ කෙසේද?

මගේ හඬ වෙනස් නොකර ගීත ගායනා කිරීම ඒකෙ රහසයි. මම වැඩි වශයෙන්ම ගායනා කරලා තියෙන්නේ වේග රිද්ම ගීත. රූපවාහිනී නන්දන වින්දන, හද බැඳි ගී, මධු රසාංග වැනි වැඩසටහන් අදටත් ජනතාව අතර ජනප‍්‍රියයි.

එතෙර සංගීත ප‍්‍රසංගවලට ඔබට හොඳ ඉල්ලූමක් තිබුණා?

පැහැදිලිවම ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව , කැනඩාව, ජපානය, ඉතාලිය, ඊශ‍්‍රායලය, ජර්මනිය, කුවේට් ඇතුළු රටවල් 26 ක මම සංගීත ප‍්‍රසංග පවත්වලා තියෙනවා. මං හිතන්නේ ඒක වාර්තාවක්.

ඔබේ ආදරණීය බිරිඳ සහ දරුවන් පිළිබඳ කතා කළොත් ?

රූපා මගේ දයාබර බිරිඳ. මගේ සෙවණැල්ලක් සේ මගේ කටයුතු වලට කලා කටයුතුවලට ඇය විශාල ධෛර්යයක් දෙනවා. මගේ දරුවන් දෙන්නා වන රුචින්ද්‍ර සහ ලක්ෂාන් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලා ඉන්නේ. ඔවුන් දෙදෙනාත් මං ගැන නිරතුරුවම සොයා බලනවා.

ජනවාරි මාසයේ 8 වැනිදා ඔබට සුවිශේෂී දිනයක් වෙනවා නේද?

අනිවාර්යයෙන් ජනවාරි මාසයේ 8 වැනිදා මගේ උපන්දිනය යෙදෙනවා. මම පානදුර ප‍්‍රදේශයේ උපන් කෙනෙක්. ඒ වගේම පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. අවුරුදු 50 ක් මං කලාවට කරපු සේවය වෙනුවෙන් පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා සහ මන්ත‍්‍රී මණ්ඩලය එකතුවෙලා මගේ නමින් අනිල් භාරතී පෙදෙස නමින් පාරක් නම් කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳ මං පානදුර නගර සභාවේ සභාපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment