ටයර් – වයර් දුම වැදී – පානදුර රාජකීය විදුහලේ සිසුන් ඇතුළු 39ක් රෝහලේ

219

ගුරුවරු දෙදෙනෙක් සහ මවක් ඒ අතර

විෂ දුමක් ආඝ්‍රාණය වීමෙන් පානදුර රාජකීය ප්‍රාථමික විදුහලේ සිසුන් 36දෙනකු ඇතුළු 39දෙනකු ඊයේ (02) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර රාජකීය විදුහලේ 5 බී, සී, ඩී, ඊ, එෆ් සහ 4 ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 36 දෙනකු ද, 5 ඊ සහ 5 බී පංති භාර ගුරු මහත්මින් සහ දරුවකුගේ මවක මෙසේ රෝහල් ගත කළ බව විදුහල්පතිනි ඩී.පී.කේ.කේ කොතලාවල මහත්මිය පැවසුවාය. සිද්ධිය සැලවීමත් සමගින් දෙමාපියන් විශාල පිරිසක් පාසල වෙත පැමිණ සිය දරුවන් රැගෙන යෑමට කටයුතු කළ අතර, අසනීපව සිටි දරුවෝ 1990 සහ පෞද්ගලික වාහනවලින් පානදුර මූලික රෝහලට යොමු කරනු ලැබූහ.

විදුහල පිටුපස යාබද නිවසක කුණු ගොඩක වයර් සහ ටයර් කිහිපයක් කිසියම් පුද්ගලයින් දෙදෙනකු විසින් පුළුස්සා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවල දී තහවුරුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කසළ ගොඩේ තිබී පිළිස්සී ගිය වයර් සහ ටයර් කැබලි කිහිපයක් හමුවී ඇති අතර, ප්‍රදේශයේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් දෙදෙනකු විසින් වයර්වල සහ ටයර්වල ඇති තඹ සහ කම්බි ලබා ගැනීම සඳහා වයර් සහ ටයර් පුළුස්සා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවල දී තහවුරුව ඇතැයි පොලිසිය කියයි.

කසළ ගොඩට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය. එයින් එක් සැකකරුවකු පාසලට ආසන්න කුලී නිවසක පදිංචිව සිටින අතර, ඔහුගේ බිරිඳ සහ එහි නේවාසිකව සිටින කාන්තාවක ද, කසළ ගොඩ තිබූ විදුහලට යාබද නිවසේ කාන්තාවන් තිදෙනකු ද ප්‍රශ්න කිරීම සඳහා භාරයට ගත් බව පොලිසිය කීය. පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරේ.
ආර්.ඒ.එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම, පානදුර දීපිකා කාරියවසම්, කැස්බෑව ජයසිංහ සහ මොරටුව එස්. ඒ. ආර්. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment