ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අයෙක් ජීවිතක්ෂයට

215

මඩකලපුව, කොක්කටිචෝලෙයි පොලිස් වසමට අයත් මනල්පිට්ටි ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක පෙරළීමෙන් පෙරේදා (24දා) 31 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

මඩකලපුව 40 වන ගම්මානයේ, වම්මියඩිඋත්තු තිකෝඩෙයි ප්‍රදේශයේ පදිංචි ෂන්මුගම් විනෝරාජ් යන අය මෙම අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය වූ දින බණ්ඩාරියවේලි ප්‍රදේශයේ පිහිටි තම මවගේ නිවසේ සිට සිය ට්‍රැක්ටරයෙන් නිවස බලා යමින් සිටියදී ට්‍රැක්ටරය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් බරපතළ තුවාල ලබා මහිලඩිතිව් රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවත්, එම පුද්ගලයා පසුගිය මාසයේ විවාහ වී ඇති බවත් පොලිස් මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී තිබේ.

මඩකලපුව හදිසි මරණ පරීක්ෂක තම්පිපිල්ලේ තවකුමාර් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඥාතීන්ට භාරදෙන ලදි. සිද්ධිය සම්බන්ධයෙන් කොක්කටිචෝලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කාත්තංකුඩිය – සිහාරා ලතීෆ්

advertistmentadvertistment
advertistmentadvertistment