ට්‍රැක්ටර් 3 ක් මුල්කර ගනිමින් කළුතර ප්‍රා.ස. රත්වෙයි

172

කසළ ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රැක්ටර් තුනක් මිලදී ගැනීම වෙනුවෙන් කළුතර ප්‍රාදේශීය සභාව රු. අසූපන් ලක්ෂ දාහත් දහසක් නීති විරෝධී අන්දමින් වැය කිරීමට කටයුතු කරන බවට හිටපු විපක්ෂ නායක එස්.ඒ.ඩී. නිලන්ත මහතා සඳහන් කිරීමත් සමඟින් ඊයේ (20) කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම් විය.

TATA India 7250DJ වර්ගයේ ට්‍රැක්ටර් රථයක් රු. 2,839,000 බැඟින් මිලදී ගැනීම වෙනුවෙන් පෞද්ගලික සමාගමට රුපියල් 8,517,000.00 ක් ගෙවීමට ඇති බවට සභාපති සංජීව ආරියරත්න මහතා යෝජනාව ඉදිරිපත් කිරීමත් සමඟින් සභාව දැඩිව උණුසුම් වූ අතර, එහිදී ඇතිවූ අදහස් හුවමාරුවේදී ඇතැම් මන්ත්‍රීවරුන් අසැබි වචන වලින් එකිනෙකාට බැණ ගන්නා ආකාරයද දැකගත හැකිවිය.

මුදල් ගෙවීම සම්බන්ධයෙන් සභාපතිවරයා සභාවේ ජන්ද විමසීමක් කළ අතර, ගෙවීමට විරුද්ධව හිටපු විපක්ෂ නායක සහ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් තිදෙනා ජන්දය පාවිච්චි කරද්දී, සෙසු මන්ත්‍රීවරුන් පිරිස පක්ෂව පාවිච්චි කළහ.

මිලදී ගැනීම් සඳහා මුදල් කමිටුවේ අනුමැතිය මත සියලු වගකිව යුතු ආයතන වෙතින් ලද නිසි අනුමැතිය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසිපරිදි සිදුකර ඇති බව සභාපති සංජීව ආරියරත්න මහතා සඳහන් කළේය.
ආර්.ඒ.එස්.ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment