ටික් ටොක් ඇප් එකෙන් ‘ටිප් ටොප්’ ගේමක් දුන් ටික් ටොක් කිරි සමන්

1334

ටික් ටොක්වල තවත් අපරාධයක්

පාසල් සිසුවියක් කෙළෙසයි

සිසුවියට වයස 11 යි

වැඬේට තරුණියකුත් සම්බන්ධයි

කුමාර සහ දමයන්ති තලංගම ප‍්‍රදේශයේ පදිංචි යුවළකි. දෙදෙනාම කථන ආබාධිතයන්ය. එමනිසා උපන් දා සිටම ඔවුන්ට කතා කිරීමට නොහැකි විය. එහෙත් ජීවත්වීමට එය බාධාවක් නොකරගත් මෙම දෙපළ විවාහ වූයේ දැනට වසර 12 කට පමණ පෙරයි. විවාහයෙන් ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටී. ඒ දියණියක් සහ පුතෙකි. පවුලේ වැඩිමලා දියණිය දිල්කි අප්සරා වන අතර වයස අවුරුදු 11කි.

මව්පියන් මෙන් නොව දරුවන් දෙදෙනාටම කතා කිරීමේ හැකියාව තිබුණි. එමනිසා දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව වූයේ තම දරුවන් දෙදෙනා හට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ සඳහා අවශ්‍ය සෑම දෙයක්ම දරුවන් දෙදෙනා වෙනුවෙන් උපරිමයෙන්ම ඉටුකිරීමට ඔවුන් කටයුතු කළේය. එ අනුව අධ්‍යාපනය හැදෑරීම සඳහා දරුවන් දෙදෙනා එම ප‍්‍රදේශයේම පාසලකට ගියහ.

කොවිඞ් වසංගතය හමුවේ පාසල් වසා තැබූ සමයේ ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීම සඳහා දිල්කිට එම කථන ආබාධිත දෙමව්පියන් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ලබා දුන්නේය. මාස කිහිපයක් ගතවෙද්දී ඇය තම ආබාධිත දෙමව්පියන් ගැන නොසිතා අධ්‍යාපන කටයුතු පසෙක දමා ෆේස්බුක්, වට්ස්ඇප් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට පුරුදු විය. කලක් යද්දී දිල්කි එම සමාජ මාධ්‍ය ජාලවල නිත්‍ය සාමාජිකාවක් වූවාය. ඒ අනුව දවසේ පැය 24 න් වැඩිපුරම කාලයක් ඇය ගතකළේ ෆේස්බුක් සහ ටික් ටොක් වලයි. එලෙස වැඩිපුර කාලයක් ජංගම දුරකථන භාවිත කරන නිසා ආබාධිත දෙමව්පියන් සිතුවේ ඇය ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නිරත වන බවයි. මාස කීපයක් ගතවෙද්දී වයස අවුරුදු 11 ක් වන එම දැරියට ෆේස්බුක් සහ ටික් ටොක් හරහා හඳුනාගත් මිතුරු මිතුරියන් රැසක්ම සිටියාය. එයින් බහුතරයක් ඇයට වඩා වයසින් වැඩිමහල් අය විය. පසුගිය වසරේ ඔක්තෝබර් මස වට්ස්ඇප් හරහා ඇයට තවත් තරුණියක හඳුනාගැනීමට හැකි විය. ඇය නමින් ටානියා පෙරේරාය. වයස අවුරුදු 19ක් වන ඇය කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ටික් ටොක් වලට පමණක් නොව මත්ද්‍රව්‍ය වලටද තදින් ඇබ්බැහි වී සිටියාය.

සති දෙකක් පමණ ගත වෙද්දී ටානියා සහ දිල්කි අතර තිබූ මිත‍්‍රත්වය තවත් වැඩිවන්නට පටන් ගත්හ. දිනකට තුන්හතර වතාවක් ඔවුනොවුන් දුරකථනයෙන් දුක සැප හුවමාරු කරගත්හ. ඒ අතර දිනක් එම දෙදෙනා මෙලෙස කතා බස් කළහ.

‘‘දිල්කි මම ඔයාගෙන් දෙයක් අහන්න හිටියේ.”

‘‘ඒ මොකක්ද ටානියා අක්කේ.”

‘‘ඔයාට බෝයි ෆ්‍රෙන්ඞ් කෙනෙක් නැද්ද?”

‘‘නැහැ මම තවම පොඩි කෙල්ලෙක්නේ. ඇයි අක්කට ඉන්නවද.?”

‘‘ඔය වයස වෙනකොට මගේ ……. නැහැ.”

‘‘බොරු කියන්න එපා අක්කේ.”

‘‘ඇයි මම බොරු කියන්නෙ. මේ වෙන කොට මම කොල්ලො හතර පස් දෙනෙක් ආශ‍්‍රය කරලා තියෙනවා.”

‘‘මටනම් හිතාගන්නවත් බැහැ.”

‘‘අයියෝ දැන් සමාජයේ හැටි එහෙම තමයි දිල්කි. කරන දෙයක් මේ කාලේම කරන්න ඕනා.”

‘‘අනේ මම නම් බයයි ඕවට.”

‘‘එහෙම බය වෙන්න එපා. ඔයා කොල්ලෙක් ඕනනම් මම සෙට් කරලා දෙන්නම් නියම කෙනෙක්.”

‘‘අනේ අක්කේ මම තවම ඉගෙන ගන්නවා නේ”

‘‘මම මුලින්ම කිව්වනේ මේ කාලෙ තමයි ඕවා කරන්න ඕනා.”

‘‘මම තවම පොඩි කෙල්ලෙක්නේ.”

‘‘අවුරුදු එකොළහක් කියන්නේ මොන පොඩි ද. මම ඔය වයසෙදි කරගත්ත ඒවා කිව්වනේ දැන්. බයවෙන්න එපා. මම නියම කොල්ලෙක් සෙට් කරලා දෙන්නම්.”

‘‘කවුද අක්කේ.”

‘‘එසේ මෙසේ කෙනෙක් නොවෙයි. කෙල්ලො පස්සෙන් එනවා එයාව හොයාගෙන. එතරම් ප‍්‍රසිද්ධයි.”

‘‘අනේ කියන්නකො කවුද ඒ ප‍්‍රසිද්ධ කෙනා.”

‘‘ටික්ටොක් කරන ‘කිරි සමන්’ අයියා.”

‘‘එයාව දන්නවාද අක්කා. මම එයාගෙ ටික් ටොක් හැම එකක්ම බලනවා. ලස්සන ඒවා කරනවා.”

‘‘ඇයි දන් නැත්තේ. මගේ හොඳම යාළුවෙක්. හදවත හොඳ අයියා කෙනෙක්. මම එයාව ඔයාට ඉක්මනින් හඳුන්වලා දෙන්නම්.”

‘‘ඔය ඇත්තම ද ?”

‘‘ඔව් ඇයි මම බොරු කියන්නෙ.”

‘‘හරි අක්කේ මම බලාගෙන ඉන්නවා.”

ඕෂධ නිලාන් නොහොත් ටික් ටොක් කිරි සමන් යනු රාජගිරිය කලපළුවාවේ පදිංචි තරුණයෙකි. වයස අවුරැදු 22කි. හරිහමන් අධ්‍යාපනයක් නොලද මොහු පාසල් සමයේ සිටම සමාජ මාධ්‍ය ජාලවලට තදින් ඇබ්බැහි වූවෙකි. පාසල් අධ්‍යාපනය හමාර කරන මොහු කොන්ඩය වවා තැනින් තැන විවිධ වර්ණ ආලේප කර කන් දෙක විද කරාබු දමා අමුතු ආකාරයේ ඇඳුම් ඇඳ ටික් ටොක් වීඩියෝ කිරීමට පටන් ගත්තේය. මාස කීපයක් ගතවෙද්දී මොහු කරන කසිකබල් ටික් ටොක් වීඩියෝ පට පහත් රුචිකත්වයක් ඇති තරුණ තරුණියන් අතර ජනප‍්‍රිය වන්නට පටන් ගත්තේය. එලෙස ජනප‍්‍රිය වනවාත් සමඟම කිරි සමන් ශරීරයේ තවත් වෙනස්කම් සිදු කර ගනිමින් සතපහකටවත් නොවටිනා පහත් මානසිකත්වයෙන් යුතු බැලීමට පවා අප‍්‍රසන්න ටික් ටොක් වීඩියෝ පට කළේය. එම වීඩියෝපට හරහා මාස කීපයක් ගත වෙද්දී පහත් රුචිකත්වයක් ඇති තරුණ තරුණියන් අතර එක්තරා ආකාරයේ පොරක් වන්නට ටික් ටොක් කිරි සමන්ට හැකි විය. ටික් ටොක් වල ජනප‍්‍රිය වූවාට පසු මොහු තරුණියන් රැසක් ඇසුරු කළේය. ඒ අතර මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට ද මොහු තදින්ම ඇබ්බැහි වී සිටියේය. තමන් සමඟ සම්බන්ධකම් පවත්වන තරුණියන්ට පවා මොහු මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු කළේය.

ටානියා නමැති තරුණිය ටික් ටොක් සමන්ව ළඟින්ම ඇසුරු කළාය. ඒ අතර ඔහු සමග සාද වලට පවා යෑමට ඇය පුරුදුව සිටියාය. ටික් ටොක් සමන්ට දිල්කි නමැති අවුරුදු 11 ක් වයසැති තලංගම පදිංචි පාසල් සිසුවිය හඳුන්වා දීමට උත්සාහ කළේද ඔහුගේ සිත තවත් දිනා ගැනීම සඳහාය. ඒ අනුව ඇය දිනක් කිරි සමන්ට ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවාය.

‘‘කිරි අයියේ කොහොමද ?”

‘‘හොඳින් ඉන්නවා නංගෝ. මොකද වෙන්නේ.”

‘‘විශේෂ දෙයක් නැහැ. අපිට ළඟදි සෙට් වෙන්නත් බැරි වුණානේ.”

‘‘ඒකනේ ඒකනේ ළඟදිම සෙට් වෙමු.”

‘‘මම අයියට කතා කළේ කාරණයක් කියන්න. අයිය ෆ‍්‍රී නම් මම දැන් කියන්නම්.”

‘‘මොකක්ද ඒ”

‘‘මම අර තලංගම පැත්තෙ පොඩි කෙල්ලෙක් ගැන කිව්වේ.”

‘‘ඔව් ඉතින්.”

‘‘එයා කැමතියි අයියව අඳුර ගන්න.”

‘‘එහෙමද. එහෙනම් මගේ නම්බර් එක දෙන්න.”

‘‘හරි අයියේ මම දෙන්නම්.”

ටික් ටොක් ඇප් එකෙන් 'ටිප් ටොප්' ගේමක් දුන් ටික් ටොක් කිරි සමන්

ඒ අනුව ටානියා අවුරුදු එකොළහක් වයසැති දිල්කිට ටික් ටොක් කිරි සමන්ගේ දුරකථන අංකය ලබා දුන්නාය. දිල්කි ද කිසිදු බියක් සැකක් නොමැතිව ටික්ටොක් කිරි සමන්ට ඇමතුමක් ලබා දුන්නාය. ඒ දැන හැඳින ගැනීම සති කිහිපයක් ගතවන්නට මත්තෙන් ඉතාමත් සමීප ආශ‍්‍රයක් බවට පත් විය. කොටින්ම කියතොත් කිරි සමන්ගෙ තවත් එක් පෙම්වතියක් බවට අවුරුදු 11 ක් වයසැති එම තරුණිය පත්විය. ඒ අතර කිරි සමන් හරහා මට්ටක්කුලිය ප‍්‍රදේශයේ තවත් තරුණයෙකු හඳුනා ගැනීමටද ඇයට හැකි විය. ඇය ඔහු සමග ද කතාබස් කළාය.

දිනය පසුගිය දෙසැම්බර් මස 05 වැනිදාය. කිරි සමන් එදින දිල්කිට ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.

‘‘නංගී හෙට මගේ පාටියක් තියෙනවා. ඔයත් එන්න ඕනා එකට යන්න.”

‘‘අනේ අයියේ මට එහෙම එන්න බැහැ.”

‘‘එහෙම කියන්න එපා නංගි. මම ඔයාව ගෙවල් ළඟින් අරගන්න එන්නම්.”

‘‘අයියට පිස්සුද. කතා කරන්න බැරි වුණාට අපේ අම්මලා එහෙම ඇවිදින්න දෙන්නේ නැහැ. ඒක නිසා මට එන්න බැහැ.”

‘‘ඔයා අනිවාර්යෙන්ම එන්න ඕනා. මගේ යාළුවන්ටත් මම කියලා තියෙන්නෙ ඔයාව එක්කන් එනවා කියලා.”

‘‘මොනවද මම ගෙදර අයට කියන්නේ.”

‘‘ගෙදර අයට මොකුත් කියන්න එපා. පාටිය තියෙන්නෙ ?ට. අම්මලා නිදාගත්තට පස්සෙ ඔයා හොරෙන් එන්න. මම ගෙවල් ළඟට එන්නම් ඔයාව ගන්න.”

අවසානයේ කිරි සමන්ගේ බලවත් පෙරැත්තය මත ඇය ඔහු සමඟ සාදය සඳහා යෑමට කැමති වූවාය. ඔහුට වුවමනා වූයේ ඇයව සාදයක් සඳහා රැගෙන යෑමට නොව තම මිතුරන් සමඟ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව ඇය හා ලිංගිකව එක්වීමටයි. මෙය ඔහුගේ පුරුද්දක් බවට පත් වී තිබුණි.

පසු දින උදාවිය. එදින රාත‍්‍රී කාලයේ දෙමව්පියන් නින්දට ගිය පසු ටික් ටොක් කිරි සමන් කියූ පරිදි ඇය සාදයට යෑම සඳහා ලක ලෑස්ති වූවාය. නියමිත වෙලාවට පැමිණි ටික් ටොක් කිරි සමන් ඇයවත් රැගෙන සාදය පැවති ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කළේය. එයට අමතරව අවුරුදු 11 ක් වයසැති එම පාසල් සිසුවියට ද ඔහු බලහත්කාරයෙන් මත්පැන් ලබාදුන්නේය.

මත්පැන් ලබාදීමෙන් පසු ටික් ටොක් කිරි සමන් ඇයව කාමරයක් තුළට රැගෙන ගියේය. ඉන්පසු අවුරුදු 11 ක් වයසැති එම පාසල් සිසුවියව ඔහු ලිංගික අපයෝජනයට ලක් කළේය. එතනින් නොනැවතුණු ඔහුගේ මිතුරකු ද එදිනම ඇයව ලිංගික අපයෝජනයට ලක් කළේය. එලෙස එම පාසල් සිසුවියට ලිංගික අඩන්තේට්ටම් කර පාන්දර 4.30 ට පමණ ඇයව නිවස වෙත ඇරළුවේය.

එතැන් පටන් දින කිහිපයක් එනම් දෙසැම්බර් 20, 21 සහ 22 යන දිනවලත් ඇයව නිවසින් විවිධ සාද සඳහා රැගෙන ගොස් තිබුණි. එලෙස යන සමහර සාද පිළිබඳව ඇය තම ආබාධිත දෙමව්පියන්ට ද පැවසුවාය. ඒ සහභාගි වූ සෑම සාදයක දී ම ටික් ටොක් කිරි සමන් ඇයට මත්ද්‍රව්‍ය ලබාදි ලිංගිකව හැසිරුණේය. සමහර අවස්ථාවල දී ඔහුගේ මිතුරන්ද ඇයට ලිංගික අතවර සිදු කළේය. එක්තරා සාදයකදී ඇය කැලණිය ප‍්‍රදේශයේ තරුණයෙකු ද හඳුනා ගත්තාය. ඉන්පසු ඔහු ජනවාරි පළමුවෙනිදා දෙහිවල ප‍්‍රදේශයේ තිබෙන සාදයකට ඇයට ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් ඇය ජනවාරි පළමුවෙනිදා එම සාදයට යෑම සඳහා ආබාධිත දෙමව්පියන්ට ද පවසා නිවසින් පිටත් වූවාය. එදින සාදයට සහභාගි වූ ඇයව කැලණියේ එම තරුණයා විසින් අලූයම් කාලයේ මිතුරකුගේ නිවෙසට ගෙන ගියේය. එලෙස රැගෙන ගිය ඇයව පසුදින දහවල් කාලය වනතුරු එම නිවසේ රඳවා තබාගෙන ලිංගික අඩන්තේට්ටම් සිදු කළේය. දියණිය පසු දින දහවල් වනතුරු නිවසට නොපැමිණි නිසා කථන ආබාධිත දෙමව්පියන් තලංගම පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළේය. එලෙස පැමිණිලි කර නිවසට ගිය පසු දියණිය යළි පැමිණියේය. ඒ අනුව එම දෙමව්පියන් යළි පොලිසියට ගොස් තම දියණිය නිවසට පැමිණි බව පැවසුවේය. ඒ අනුව පොලිස් නිලධාරීන්ට දියණිය ගැන සැක සිතුණේය. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට පටන් ගත්තේය. ඒ අනුව දැරියව මුල්ලේරියාව රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා දැරිය පරීක්ෂා කළේය. එහිදී අනාවරණය වූයේ මත් ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවයි. පොලිස් නිලධාරීන්ගේ සැකය තහවුරු විය. ඒ අනුව ඔවුන් දැරියගෙන් ඒ පිළිබඳව විමසුවේය. පොලිස් නිලධාරීන් හමුවේ බියට පත්වූ ඇය සිදු වූ සියල්ල අකුරක් නෑර පැවසුවාය.

ඒ අනුව අවුරුදු 11 ක් වයසැති එම පාසල් සිසුවියට මත්ද්‍රව්‍ය ලබාදීම සහ ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව මත ටික් ටොක් කිරි සමන් ඇතුළු තරුණ තරුණියන් සිව් දෙනකු තලංගම පොලිසියේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් අවුරුදු 19 – 22 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් රාජගිරිය, මට්ටක්කුලිය සහ කැලණිය ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පැවසුවේය. එයට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මෙම ලිපිය ලියන මොහොත වනවිටත් පොලිසිය පරීක්ෂණ සිදුකරමින් පවතී.

වර්තමානයේදී ගත් කල ටික් ටොක් යනු මෙරට ඇති පහත්ම කසි කබල්ම සමාජ මාධ්‍ය ජාලයකි. ඒ සඳහා මෙරට පාසල් යන දරු දැරියන් විශාල පිරිසක් සහ තරුණ තරුණියන් වැඩි වශයෙන් නැඹුරු වී සිටිති. එහි ඇති කසිකබල් ගණයේ ඉතාම පහත් වීඩියෝ නැරඹීමෙන් එම දරු දැරියන්ගේ මනස මෙන්ම තරුණ තරුණියන්ගේ මනසද විකෘති වී තිබේ. එහි හොඳම ප‍්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධිය අපට ගත හැකිය.

මෙය ටික් ටොක් හරහා වාර්තා වූ තවත් එක් අපරාධයක් පමණි. තවත් මෙවැනි අපරාධ බොහෝ ටික් ටොක් හරහා සිදු වී තිබේ. පසුගිය දිනක අවුරුදු 18 ක තරුණයකු මරා දැමුවේද ටික් ටොක් නිසා ඇතිවූ ගැටුමක් නිසාය. සමාජය තුළ ප‍්‍රසිද්ධ නොවුණද තවත් එවැනි අපරාධ රැසක් ටික් ටොක් හරහා සිදු වී තිබේ. එම නිසා ඉදිරියේදී තවත් දරුණු ගණයේ අපරාධ ටික් ටොක් හරහා සිදුවිය හැකිය. එමනිසා වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනාගත පරම්පරාව රැක ගැනීම සඳහා ටික් ටොක් නමැති මෙම වසංගතය සමාජයෙන් තුරන් කරන ලෙස හෝ නැතහොත් ඒ සඳහා සුදුසු වාරණයක් පනවන ලෙසයි. සමාජය තුළ සිදුවූ අපරාධ වැඩිවීම නිසා ටික් ටොක් සම්පූර්ණයෙන්ම තහනම් කළ රටවල් පවා තිබේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment