ටීෂා අවුරුදු 14 කට පස්සේ ලංකාවට ඇවිත්

1146

රන්වන් රන් මාල පළඳා
මල් ගවසාලා
මම යන්නම් නාරි ගමනින්
ලොව රවටාලා
පාවෙන රන් අසෙකු පිටේ ඔබ
මා හිඳුවාලා
ගෙන යනවා නම් එන්නම්
මුර කාවල් නොතකා…

ටීෂා අවුරුදු 14 කට පස්සේ ලංකාවට ඇවිත්



මීට වසර දහසයකට පෙර ඔබට ඇසුණු මේ ගීතයේ හිමිකාරිය අවුරුදු දාහතරකට පස්සේ ඔන්න ලංකාවට ඇවිත්. ඇත්තට ම ඇය ලංකාවට ආවේ අලූත් වැඩ කිහිපයකට කියලයි ආරංචිය. ඉතිං ඒ ආරංචියේ සැබෑ තතු දැනගත්ත අපි මේ ගීතයේ හිමිකාරිය වන ටීෂා පෙරේරා ව ඇමතුවා.

* ටීෂා කොච්චර කාලයකට පස්සේ ද ලංකාවට ආවේ?

මීට අවුරුදු හතරකට කලින් සති දෙකකට ඇවිත් ගියා. මොකුත් වැඩක් කරන්න බැරි වුණා. මම කොහොමත් ඇමරිකාවට ගිහින් අවුරුදු දාහතරක් වෙනවා. මේ පාර තමයි මම ලංකාවේ මාසයක් ඉන්න ආවේ.

ටීෂා අවුරුදු 14 කට පස්සේ ලංකාවට ඇවිත්

* දැන් ආපහු ලංකාවෙන් යන්නේ කවදා ද?

මේ මාසේ 22 වැනිදාට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

* හදිසියේම ලංකාවට ආවේ ඇයි?

හදිසියේම නෙමෙයි. ලංකාවට එන්න සෑහෙන කාලයක ඉඳලා ආසාවක් තිබුණා. කොරෝනා වසංගතය හින්දා එන්න හම්බවුණේ නැහැනේ. අනික අපේ ව්‍යාපාර කටයුතු තියෙන්නේ ලංකාවේ. ඒක හින්දා මගේ සැමියා කිව්වා එයා ලංකාවට යනවා කියලා. ඉතිං මම කිව්වා මාත් එන්නම් කියලා.

ටීෂා අවුරුදු 14 කට පස්සේ ලංකාවට ඇවිත්



* ගීතයක් එහෙම කළේ නැති ද?

අලූත්ම ගීතයක් කරන්න සැලසුම් කළා. ගීතය ලිව්වේ ෂෙහාන් ගලහිටියාව. සංගීතය චතුරංග ද සිල්වා. 2003 දී මම ටෙ‍්‍රන්ඞ් එක වෙනස් කරගෙනනේ ආවේ.

මේ පාරත් කරන්න හදන්නේ ඒක තමයි. තනිකරම දැන් තියෙන ටෙ‍්‍රන්ඞ් එක මේ සින්දුවෙන් වෙනස් වෙනවා.

* ගීතය කවදා ද එළිදක්වන්නේ?

ඒක දැන්ම කියන්න බැහැ. ගීතයේ රූප රචනාව රූගත කරන්නේ අපි දින සැලසුම් කරලයි තියෙන්නේ. ඒක අවසන් කළාට පස්සේ මම ලංකාවෙන් යනවා. මම ලංකාවෙන් ගිහිල්ලා මාස දෙකකින් තුනකින් විතර වෙන්න පුළුවන් ගීතය එළිදක්වන්නේ.

* එදා ජනප‍්‍රියත්වය ගැන අද මොකද හිතන්නේ?

එදා ජනප‍්‍රියත්වය අදටත් තියෙනවා. රන්වන් රන්මාල පළඳා ගීතය කරලා අවුරුදු දහසයක් වෙනවා. අදටත් මේ ගීතය නාළිකාවල විකාශනය වෙනවා. මේ ගීතයට ගොඩක් අය ආදරෙයි. මට හිතෙනවා මම ඒ ගීතයෙන් ලොකු දෙයක් ලංකාවේ කළා කියලා. කලාකරුවා පේන්නෙවත් නැතිව ඒ ගීතය අදටත් නාළිකාවල විකාශනය වෙනවා කියන්නේ ම ලොකු දෙයක්නේ.

* අලූත්ම ගීතයක් මේ වගේම ජනප‍්‍රිය වෙයි කියලා හිතනවා ද?

මට හිතෙනවා ඒකත් ලොකුවට හිට්වෙයි කියලා. ඒක හරි අමුතුම සිංදුවක්. ගීතය රහසින් කියලා තමයි නම් කරලා තියෙන්නේ. දම්පාට හැන්දෑවේ ගීතයත් මම රීමේක් එකක් කළා. ඒකත් කට්ටියට ඉක්මනට බලාගන්න පුළුවන් වේවි. ඒක මම නිර්මාණය කළේ ඇමරිකාවේදී.

ටීෂා අවුරුදු 14 කට පස්සේ ලංකාවට ඇවිත්

* ඇමරිකාවේ ගෙවපු ජීවිතය?

ඇමරිකාවේ දී මම ඇමරිකන් රෙකෝඞ් ලේබල් එකක් එක්ක වැඩ කළා. මම ඔවුන් සමග මගේ අතින් ලියැවුණු ගීත විස්සක් නිර්මාණය කළා. ඊට අමතරව ඇමරිකාවේ නාළිකාවල මගේ සම්මුඛ සාකච්ඡුා පළ වුණා. ඒ වගේම ගීත ප‍්‍රචාරය වෙනවා.

* ටීෂා තවමත් එදා වගේම ප‍්‍රසංග වේදිකාවේ දී දඟකාර චරිතයක් ද?

ඔව්. අනිවාර්යයෙන්ම.

* බාහිර පෙනුමත් වෙනස් කළානේ ද?

කොණ්ඬේ නම් ටිකක් කොට කළා. ඉස්සර මම ලංකාවේ ඉන්න කොට කොණ්ඩය කොටට කැපුවට ටිකක් දිගට තිබුණා. දැන් සෑහෙන කොටට කපලා ඒක පර්පර්ල් කරලා තියෙනවා. ඇත්තට ම මම ඉස්සරයි අදයි බලද්දී ටිකක් වෙනස්. ඒ කියන්නේ වයසට ගිහිල්ලා නැහැ.

* ටීෂා ලංකාවට ආවා කියලා කට්ටිය වැඩිය දන්නේ නැහැනේ ද?

මම යන තැන්වල දී කට්ටිය බලනවා. හැබැයි සමහරුනම් මාව දැකලා අඳුරගෙන කතා කරනවා. පරණ යාළුවෝ හමුවුණා.

* පෞද්ගලික ජීවිතය එහෙම කොහොම ද?

මම විවාහ වෙලා ඉන්නේ. මට පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම ඩියෝන්. එයාට අවුරුදු දෙකහමාරක් වෙනවා. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඩියෝන් නිසයි මගේ ගායන කටයුතු නැවැත්තුවේ. මොකද එයා එක්ක නිතර ට‍්‍රැවල් කරන්න අමාරුයි. පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඕනෑ හින්දා ඒ පැත්ත පොඞ්ඩක් නැවැත්තුවා.

* ආපහු සංගීතයට වැඩි ඉඩක් දෙන්නේ නැති ද?

පුංචි පුතාට අවුරුදු පහක් විතර වුණාට පස්සේ සංගීතයට වැඩි ඉඩක් දෙන්න සූදානමක් තියෙනවා. මම හිතාගෙන ඉන්නවා එහේ සංගීතය නැවත පටන් ගන්න. තව මගේම රෙකෝඞ් ලේබල් එකක් ආරම්භ කරන්නන් අදහසක් තියෙනවා. එතකොට මට මගේ ඒ සියල්ලේ අයිතිය තියෙන්නේ.

* නැවත ලංකාවට එන්න අදහසක් නැති ද?

ලංකාවට එන්න ඇත්තට ම අදහසක් නැහැ. අපේ මිනිස්සුන්ට ජීවත්වෙන්න හොඳ වටපිටාවක් හැදුණ දවසක තමයි ලංකාවට එන්නේ. මොකද හිත කලකිරුවා ගන්න වුවමනා නැහැනේ. මොකද මේ මිනිස්සු විඳින දුක දැක්කහම ඒක මට වුණා වගේ තමයි. මම ඇමරිකාවට වෙලා කොච්චර සැප වින්දත් ලංකාවේ මිනිස්සු විඳින දුක දැක්කහම මට එහේ ගෙවන සැපවත් ජීවිතය වැඩක් නැහැ කියලා හිතෙනවා. එතකොට හිතෙනවා අනේ දෙවියනේ මේ වගේ දේවල් වෙද්දීත් අපි මෙහේ මෙහෙම ඉන්නේ කියලා. ඒ ගැන හරි දුකයි.

* රන්වන් රන් ගීතය අලූත් කරන්න අදහසක් තියෙනවා ද?

ඔව්. රන්වන් රන් ගීතයට රීමේක් එකක් කරන්න අදහසක් තියෙනවා. ඒක මගේ හිතේ ගොඩක් කාලයක ඉඳලා තිබුණ අදහසක්. අනෙක් ගීතය තමයි අරුණැල්ලේ.

* මේ පාර ප‍්‍රසංගවලට ආරාධනා ලැබුණේ නැති ද?

ආරාධනා ලැබුණා. ප‍්‍රසංග හතරකට ආරාධනා ලැබුණා. ඇත්තට ම මම මෙදාපාර ලංකාවට ආවේ ප‍්‍රසංග කරන්න නෙමෙයි. ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කරන්න තමයි ලංකාවට ආවේ. අනික ලැබුණු ආරාධනා ලැබුණේ ඉතාමත් දුරබැහැර ප‍්‍රදේශවලට. අනික එහෙම ප‍්‍රසංග එකක් දෙකක් කරලා වැඩකුත් නැහැනේ.

දිනේෂ් විතාන
ඡායාරූප – යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment