ටුවරිස්ට්ලාගේ ෆේවරිට් වාහනය බයිසිකලේ වෙයිද?

112

සංචාරකයොත් තෙල් පෝලිමේ

ඉන්ධන අර්බුදය නිසා මුළු රටම අකර්මන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇත්තේය. ඉන්ධන ලබා ගැනීම සඳහා රට්ටුන්ට දින
ගණනාවක් පෝලිම්වල ලැගීමට සිදුවී තිබේ. ඒ විතරක් නොව ඉන්ධන පෝලිම්වල සිදුවන ගුටිබැට හුවමාරුවලින් මෙන්ම ගැටුම්වලින්ද අඩුවක් නැත. රට්ටුන්ට පමණක් නොව මෙරටට ඩොලර් රැගෙන එන විදේශිකයන්ට ද ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටීමට සිදුවී ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරෙක සඳහන් කළේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට අරගල භූමියට ගොස් පෝස්ටර් උස්සාගෙන අරගලයට ද දායකවිය හැකි බවය. අරගල භූමියට යෑමට පවා විදේශිකයන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

ඉන්ධන ගැටලුව නිසා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීමෙන් ඇතැම් විදේශිකයන්ට කොළඹ නගරයට යෑමට සිදුවී ඇත්තේ බඩු කෝචිච්වලිනි. නැතහොත් බස්රථවලිනි. ඒ විතරක් නොව, ඉන්ධන පෝලිම්වලදී විදේශීය සංචාරකයන්ට ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් කරදර හිරිහැරවලට ලක්වීමට සිදුවූ අවස්ථාද වාර්තා විය. ඉන්ධන ලබාගැනීමට පැමිණෙන විදේශිකයන්ට ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලදී පෝලිමේ සිටින සාමාන්‍ය ජනතාවගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයකි. එහෙත් සමහරක් ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් ඉන්ධන ලබාදීමේදී විදේශිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කරන ආකාරය දැකගත හැකිය.

ඒ කොයිහැටිවුවද පසුගියදා ගාලුකොටුව ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි විදේශීය කාන්තාවකට අමිහිරි අත්දැකීමට ලක්වීමට සිදුවූවාය. ඇය ටෝනියා මොලර් නමැති රුසියානු ජාතික කාන්තාවකි. ඕ රුසියානු යුක්රේන් සමාගමක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන්නීය. මෙකී විදේශීය කාන්තාව තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනීම සඳහා ගාලුකොටුව ඉන්ධන පිරවුම්හලට පැමිණියද ඉන්ධන ලබාගැනීමට නොහැකි වූවාය. මෙකී ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව එහි සිටි උසස් පොලිස් නිලධාරියකු විදේශීය කාන්තාවට කීවේය. මේ නිසා ඇයට ඉන්ධන ලබා ගැනීමට ගාල්ල කළුවැල්ල ඉන්ධන පිරවුම්හලේ පැය ගණනාවක් ලැගීමට සිදුවූවාය.

ටුවරිස්ට්ලාගේ ෆේවරිට් වාහනය බයිසිකලේ වෙයිද?

පෙට්‍රල් ලීටර් තුනක් ලබාගැනීම සඳහා කිලෝමීටර් 03ක විතර පෝලිමේ සිටීමට මට සිදුවුණා. ඒ අතර දෙපැයක් විදුලිය විසන්ධි වුණා. මාසයක කාලයක් ගතකිරීමට තමයි මෙරටට පැමිණියේ. නමුත් මට ඉන්ධන ලබාදෙනවාට පෝලිමේ සිටි මිනිසුන් විරුද්ධ වුණා. මට ඉන්ධන දුන්නේ නැහැ. ආරක්ෂක අංශ මාව පන්නා ගත්තා. ලංකාවට ආවේ මෙහෙම අත්දැකීමක් බලාගෙන නෙවෙයි. අපි ලංකාවට උදව්කරන අදහසින් තමයි ආවේ. නමුත් අපිට සලකන්නේ මේ විදියට ඇත්තටම කනගාටුයි. ඉන්ධන පෝලිමට ආවේ මගේ කුඩා පුතු මිතුරකු ළඟ තියලා. ඇත්තටම ලංකාවට ආවේ ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න. නමුත් ඉන්ධන අර්බුදය නිසා අපිට එම ස්ථානවලට යෑමට නොහැකි වෙලා තියෙනවා. ඇය කීවාය.

ඇතැම් ආරක්ෂක නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා මෙරට සංචාරක කර්මාන්තයට එල්ලවන්නේ මරුපහරකි. කළු පැල්ලමකි. මෙරටට පැමිණෙන විදේශිකයන් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල රස්තියාදු වීමට කැමති නැත. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයාදීම බලධාරීන්ගේ වගකීමකි. මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තාවුවහොත් විදේශීය සංචාරකයන් මෙරටට නොපැමිණිමට ද ඉඩ ඇත. මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුව ඇත. ඇතැම් විදේශීය සංචාරකයන් තම හිතවත් හෝටල් සේවකයන්ගේ යතුරුපැදි හා වෑන් රථ රැගෙන ඉන්ධන පිරවුම්හල්වලට ගොස් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවද පැවසේ. මේ සඳහා පෙළඹී ඇත්තේ ආතක් පාතක් නොමැතිව මෙරට රැඳී සිටින අතලොස්සක් වූ විදේශීය ජාතිකයන්ය.

සංචාරකයන් ප්‍රවාහනයේ කිරීමේ කටයුතුවල නිරතවන උණවටුන ප්‍රදේශයේ තරුණයකු මේ ගැන හරි අපූරු කථාවක් කීවේය.

මෙරටට සංචාරය කිරීම සඳහා පැමිණෙන විදේශිකයන්ට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන්න ඕන. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් මෙරට රැඳී සිටින විදේශීය ජාතිකයන් කිහිප දෙනකු ඉන්ධන පිරවුම්හල්වලට ගොස් ඉන්ධන ලබාගැනීම ජාවාරමක් ලෙස කරගෙන යනවා. මේ ප්‍රදේශයේ එක් විදේශීය ජාතිකයෙක් ඉන්නවා යතුරුපැදියක් දීලා ඔහුට රුපියල් දහසක් දෙදහසක් දුන්විට යතුරුපැදියට ඉන්ධන ගහගෙන ගෙනවිත් දෙනවා. ඇතමුන් මේක පුරුද්දක් කරගෙන. එකම විදේශිකයා ඉන්ධන පිරවුම්හල් දෙක තුනකට ගොස් මේ අයුරින් ඉන්ධන ලබා ගන්නවා. කිහිපදෙනකු විසින් කරන මෙවැනි වැඩ නිසා අනිකුත් විදේශිකයන්ට ද අසාධාරණයක් සිදුවෙනවා යැයි එම තරුණයා කීවේය.

මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් යම් පිරිසක් තවමත් මෙරට රැඳී සිටිති. ඉන්ධන අර්බුදය රට්ටුන්ට මෙන්ම ඔවුන්ටද දැඩිලෙස බලපා ඇත්තේය. ඉන්ධන අර්බුදය නිසා ඇතැම් විදේශිකයන්ට හෝටල්වලට වී කල්ගත කිරීමට සිදුවී ඇත. සැබවින්ම ඉන්ධන අර්බුදය අනිකුත් ක්ෂේත්‍රවලට මෙන්ම සංචාරක කර්මාන්තයට ද දැඩිලෙස බලපා ඇත්තේය. මේ නිසා සංචාරක කර්මාන්තයේ නිරත වූවන් ගැටලු රැසකට ලක්ව සිටිති. විශේෂයෙන්ම මෙම තත්ත්වය නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන වෑන්රථ හිමියන්ය. පසුගියදා මොවුන් ගාල්ල දෙවට ප්‍රදේශයේදී විරෝධතාවක ද නිරතවූහ. ඉන්ධන මිල වැඩිවීමත් සමග විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා අයකරන ගාස්තු ද වැඩිකොට ඇත.

ඉන්ධන මිල වැඩිවීමත් සමග විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා අයකරන ගාස්තුව අසාමාන්‍ය ලෙස වැඩිවෙලා තියෙනවා. ගාල්ලේ සිට කටුනායක ගුවන්තොටුපළට විදේශීය සංචාරකයන් රැගෙන යෑමට වෑන් රථ හිමියන් රුපියල් 30000, 35000 වගේ මුදලක් ගන්නවා. නමුත් ඉන්ධන නොමැතිවීම තමයි ප්‍රධාන ගැටලුව. සංචාරකයන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ඉන්ධන ලබාදෙන බවට ඇමැතිවරු මොනවා කීවත් ඒවා මහපොළවේ නැහැ. ඉන්ධන අර්බුදය නිසා විදේශිකයන් බස්රථවලින් හා දුම්රියෙන් කොළඹ නගරයට ගොස් කටුනායක ගුවන්තොටුපළට යන්නේ. විදේශිකයන් ඉතා සුළු පිරිසක් තමයි මේ දිනවල මෙරටට පැමිණෙන්නේ. ඉන්ධන නැති නිසා ඔවුන්ට රට තුළ සංචාරය කිරීමටත් නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා යැයි විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරත අයෙකු වන නාමල්සිරි කොට්ටව මහතා කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment