ටෙන්ඩරයකට වංගු ගහන බ්ලැක් ලිස්ට් බෙහෙත් කොම්පැනිය

197

ශ්‍රී ලංකාව දැන් අමුතුම පන්නයේ රටකි. ආර්ථිකය නැට්ටටම සිඳී තිබියදීත් කල දුටු කල වළ ඉහ ගන්නා කසඩ නොමිනිසුන් බුරුතු පිටින් බිහිවන්නේ එබැවිනි. අසන්නට, දකින්නට ලැබෙන සියල්ල අප කම්පාවට පත් කරන සුළුය. රටක් අරගල කර දුර්ජනයන් එළවන්නට තැත් කළද, උන් රකින්නට වෙර දරන්නේ මේ තක්කඩිකම්වලට හුරු වූ අයමය. අපට මේ තත්ත්වය තවත් පැහැදිලි කරගත හැකි අන්දමේ පුවතක් පසුගියදා දැනගන්නට ලැබිණි. ඒ, මෙසේය.

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ සැපයීම නිසා අසාදු ලේඛනගත කර තිබෙන සමාගමක් වෙනත් සමාගමක නමකින් එම ඖෂධ ගෙන්වීමට උත්සාහ දරමින් සිටී. මේ සඳහා දේශපාලන අධිකාරියේ සහ උසස් නිලධාරීන්ගේ ද සහාය ලැබෙන බවට ද චෝදනා එල්ලවී තිබේ.

පියයුරු පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන අතර අසාදු ලේඛනගත කර තිබෙන සමාගම ද වෙනත් නමකින් ටෙන්ඩරයට ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් හෙළිවී තිබේ. ඒ අනුව මේ කපටි සූත්තරකාර සමාගම, නව

සමාගමක නමින් ටෙන්ඩරයට ඉදිරිපත් වී ඇත්තේ අසාදු ලේඛනගත කර තිබෙන සමාගමට ගෙවීම් අත්හිටුවා ඇති රුපියල් මිලියන 500 ක මුදල නිදහස් කර ගැනීමට බවද වාර්තා වේ. ජාත්‍යන්තර පළිගැනීමට ලක්ව තිබෙන ආයතනයක් ද මෙම සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම සමාගම සිදුකළ බව කියන අක්‍රමිකතා පිළිබඳ පිටු 100කට ආසන්න වාර්තාවක් එළිදක්වා ඇත. එම සමාගම සිදු කළ විමර්ශනයේදී අසාදුගත ලේඛනගත කළ සමාගම සපයා තිබූ ඇතැම් ඖෂධ නිපදවූ සමාගම් පවා එවැනි ඖෂධ සැපයීමක් නොකළ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම ඉතා වැඩි මිලට ලබාගත් ඖෂධ අධික මිලට සැපයීම ඇතුළු චෝදනා රැසක් එම වාර්තාවේ සඳහන්ව තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් ටෙන්ඩරයට ඉදිරිපත් වූ නව සමාගම සතුව මෙරටට ගෙන්වීමට නියමිත නව ඖෂධය පවතින බවට ප්‍රකාශ කර තිබීමයි. එම සමාගම සතුව එම ඖෂධය තිබෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කළ යුතු ය. ඒ මේ රටේ ජනතාවගේ නිරෝගී සුව පිණිසත් රටේ ආර්ථිකයට වංගු ගසන මෙවැනි සමාගම් අතුගා දැමිය යුතු නිසාත්ය.

මෙරට සෞඛ්‍ය සේවාව අන්තර් ජාතික සම්මානයට පත් වූ ඇගයීමට පත්වූ වූ රටකි. එවන් සෞඛ්‍ය පද්ධතියක් තිබූ රටක් අද ඇත්තේ කොතනකද යන්න කල්පනා කළයුතු කාරණයකි. මේ කඩා වැටීම අදක ඊයේක ඇති වූ තත්ත්වයක් නොවේ. එහෙත් රටේ අනෙකුත් ක්‍ෂේත්‍රවල පිරිහීමේ ක්‍රියාවලියට වඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පිරිහීම රටකට තදින් දැනෙන දෙයකි. නිරෝගීමත් සම්පත යනු රටක සංවර්ධනයෙහිලා වැදගත් සාධකයකි. එහෙයින් සෞඛ්‍යද යනු රටක ජනතාව සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස මැදිහත් වන ජීවන දර්ශකයකි.

පසුගිය කාලයේ කෝප් කමිටුවේදී හෙළි වූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඉහත කී සමාගමේ තක්කඩිකම සමගම මෙයද සැලකිල්ලට ගත යුතුය. රටේ ආර්ථිකය හා සමගාමීව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි බිඳ වැටීම කොතරම් දැයි කියවන ඔබ සිහි බුද්ධියෙන් කල්පනා කළ යුතුය. ඉහත කී කතාව සේම මේ කතාව ද ඔබ සිහියෙන් යුතුව විමසා බැලිය යුත්තේ එහෙයිනි.

කෝප් කමිටුව හෙළිකර ඇති පරිදි නියමිත ලෙස ඖෂධ ගබඩා නොකිරීම නිසා 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259 ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර එම ඖෂධ තත්ත්වයෙන් අසමත් (Quality fail) බව හඳුනා ගන්නා විටත් ඉන් 99% ක් රෝගීන් වෙත ලබා දී ඇති බවද සඳහන් වේ.

එම ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ද නොහැකි වී ඇති බවත් නිසි ලෙස ඖෂධ ගබඩා නොකිරීම හේතුවෙන් මෙලෙස තත්ත්වයෙන් අසමත් වී ඇති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. මහජනතාවට ඖෂධ හිඟයකට පමණක් මුහුණ දීමට වඩා බරපතළ අනතුරකට මුහුණ දෙන්නට සිදුව ඇති බව ඉන් පැහැදිලිය. මෙතෙක් ජනතවට ලබා දී ඇති ඖෂධ ප්‍රමිතියෙන් තොර නම් ඉන් එහා කිසිවක් කතා කළයුතු නැත. රටේ පවතින ඩොලර් හිඟය නිසා අද රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල්ද ඖෂධ හිඟය හේතුවෙන් මහත් අර්බුදයකට මුහුණ පා ඇත. රෝහල්වල ජීවිතාරක්ෂක ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය හිඟතාව නිසා රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටී.

පොළොන්නරුව මහ රෝහලේ ඖෂධ තැබීමට ප්‍රමාණවත් ස්ථානයක් නොතිබීම හේතුවෙන් රුපියල් මිලියන 44.18 ක් වටිනා ඖෂධ තොගයක් ගබඩාවෙන් පිටත අනාරක්ෂිත ලෙස තබා ඇත. එම ගබඩාවෙ පඩි පෙළේ සහ ඒ අවට ඖෂධ පෙට්ටි අසුරා තිබිණි. එම ඖෂධ තොගය සඳහා අවශ්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක ඖෂධ ගබඩා කර තිබිණි. 2020 වර්ෂය තුළදී රුපියල් මිලියන 14.38 ක් වූ තත්ත්වයෙන් අසමත් ඖෂධ වර්ග 13 කින් ඒකක 609.561 ක් පොළොන්නරු රෝහලට ලැබී තිබිණි. එයින් ඒකක 529,433 ක් සියයට 86.85 ක් රෝගීන් වෙත ලබා දී ඇත. එහෙත් මෙම ඖෂධ භාවිත කළ රෝගීන් ගැන මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත. තත්ත්වය එබඳුය. නීතියේ හිල්වලින් රිංගමින්, රටේ නරකම තත්ත්වයක් තිබියදීත් පෙර කී සමාගම් සුදු කෙළින්නේය. අප ඉඳුරාම කියමු, ඒ තක්කඩියන්ට කිසිදු අතුරු ආන්තරාවක් සිදුවන්නේ නැත. රටින් පැන යන විට අඩංගුවට ගන්නට කිසිවෙකු ඉදිරිපත් වන්නේද නැත. මේ කියන ටෙන්ඩරය

ගොඩ යන්නේනම් ඒ ගැන පුදුම විය යුතුද නැත. ඒ රටේ ජනතාවගේ අවාසනාවය. ඒ මහත්හොරු මහත් වූ වාසනාවන්තයෝය.

චන්දිම ටයිරසී බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment