ටෙන්ඩරය වැඩි මිලට: රු. කෝටි දහයක ඇස් කාච මගඩියක්

224

අඩු ලංසු යටතේ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච අඩු මිලට ආනයන කිරීමට සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී රුපියල් කෝටි දහයක් වැඩිපුර ගෙවා එක්තරා සමාගමකට එම ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් මෙම දූෂිත ගනුදෙනුව සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ද එනිසා ගනුදෙනුව සිදුකිරීමට පෙර රජයේ විගණකාධිපති වහා මැදිහත්වී ඒ පිළිබඳ සොයා බලා රටට හෙළි කළ යුතුව ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ එක් සමාගමක් රුපියල් 9000 ක මිලකට එක් අක්ෂි කාචයක් මෙරටට ගෙනත් දීමට මිල ගණන් ඉදිපත්ව සිටියදී තවත් සමාගමක් ඒ අක්ෂි කාචයම රුපියල් 10,000 ක මිලකට ගෙන ඒමට මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ද කියැවේ.

ඒ අනුව අක්ෂි කාච ලක්ෂයක් රජයේ රෝහල් වෙත ලබා දීමට නියමිත අතර මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැඩි මිල ඉදිරිපත් කර තිබෙන සමාගමට ලබාදෙනු ලැබුවහොත් රජයට අමතරව රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන බව ද විශේෂඥ වෛද්‍යවරයා කියයි.

වෛද්‍ය සැපයුම් අංශය මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඇතැම් දූෂිත නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් දූෂිත නිලධාරීන් එක්ව කරගෙන යන මගඩි රටට හෙළි කිරීමට බිය නොවන බවත් චක්‍ර ලේඛන ගසා සෞඛ්‍ය නිලධාරීන්ගේ කට වසන්නට යන්නේ මෙවැනි දූෂිත ගනුදෙනු කර ගැනීමට බවත් ඒ මහතා කියා සිටී.

බාල ඖෂධ, රෝහල්වල අර්බුද සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය හෙළි කර ඔවුන් පෙරටු කරගෙන සෞඛ්‍ය අංශ පාරට එන දවස වැඩි ඈතක නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment