ටෙස්ට් ලෝක ශූරතාවයට සිහින දකින ක්‍රයිස්චර්ච් සටන අද ඇරඹේ

176

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පිළිබඳ සිහින දකිමින් ද, කණ්ඩායමේ සිටින ජේ්‍යෂ්ඨතම ක්‍රීඩකයන් තිදෙනාගෙන් දෙදෙනකු සිය ක්‍රීඩා ජීවිතයේ සන්ධිස්ථාන දෙකක් අභිමුවේ සිටිමින් ද, ටිම් සවුති ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායමේ අභියෝගය පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මාස 8 කට පසුව අද (09 වැනිදා) ටෙස්ට් තරගයකට මුහුණ දේ.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි අද ඇරැඹෙන එම තරගය මතු නොව දෙරට අතර මෙවර තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ජයගෙන මිසක ශ්‍රී ලංකාවට ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් කීමට නොහැක.

එම තරඟ දෙකම ජයග්‍රහණය කළ ද අද අහමදාබාද් හිදී ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය නොකළහොත් සහ විසඳුමකින් තොරව නිමා වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසිය හැක.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව ඉක්මවා යෑමට ඉතා ආසන්නයේ සිටින පිතිකරුවා වන තරග 100 කට සහභාගී කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රීඩකයා ලෙස පසුවන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට රැස් කරගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6953කි.

අද ඇරඹෙන තරගයේදී මැතිව්ස් තව ලකුණු 47 ක් රැස් කළහොත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව ඉක්මවා ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වේ.

එසේම මැතිව්ස් අද තරඟයේදී තම ඉනිමට ලකුණු 21ක් රැස් කර ගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවන ස්ථානයද ඔහුට හිමිවන අතර මේ වන විට තෙවන ස්ථානයේ පසුවන සනත් ජයසූරිය රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6973කි.

නවසීලන්තයේදී සාර්ථක වූ ක්‍රීඩකයන් අතරින් මේ වන විට කණ්ඩායමේ සිටින සාර්ථකම පිතිකරුවා ද වන ඇන්ජලෝ මැතිව්ස් එරට දී ක්‍රීඩා කළ ඉනිම් 12කදී ලකුණු 503ක් අර්ධ ශතක හතරක් සහ ශතකයක් ද ඇතුළුව රැස් කරගෙන ඇත.

මැතිව්ස්ට පසුව නවසීලන්තයේදී සාර්ථක වූ අනෙක් පිතිකරුවා වන කුසල් මෙන්ඩිස් ඉනිම් 8 කදී ලකුණු 356ක් වාර්තා කර ඇත.

මැතිව්ස් ලකුණු 7000 සීමාව සොයද්දී මැතිව්ස්ට සහ නායක දිමුත්ට පසුව කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 5000 කඩඉමට තවත් ලකුණු හැටහතරක් මෙපිටින් ඇඟිලි ගනිමින් සිටී.

චන්දිමාල් එම කඩඉම පසුකර

ගියහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ඉක්මවා ගිය 11 වැනි පිතිකරුවා ලෙස ඔහුගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් පොතේ සටහන්වනු ඇති අතර පසුගිය වසරේ ඔස්ටේ්‍රලියාවට එරෙහිව ගාල්ලේ දී ඔහු නොදැවී රැස් කළ ලකුණු 206 අයිසීසී වසරේ ටෙස්ට් ඉනිමට පවා යෝජනා විය.

මාස 8 කට පසුව ටෙස්ට් තරගයකට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සහ එක් විශේෂඥ දඟ පන්දු යවන්නකුගෙන් සන්නද්ධ වනු ඇති බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පෙරේදා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අමතරව ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට එක් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නවසීලන්තයේදී මේ වන විට ජයග්‍රහණය කර ඇත්තේ 1995 වසරේ සහ 2006 වසරේ සහභාගි වූ තරගාවලිවලදී පැවැති ටෙස්ට් තරඟ දෙකක් පමණි.

එම තරඟ දෙකෙන් පළමු තරගයේ වීරයා බවට චමින්ද වාස් පත්වූ අතර දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු එකසිය පනස් දෙකක් වාර්තා කළ චාමර සිල්වා දෙවැනි තරගයේ එම සම්මානය දිනා ගත්තේය.

නවසීලන්තයට එරෙහිව සමස්තයක් ලෙස මේ වනවිට කණ්ඩායමේ සිටින වැඩිම ලකුණු ලාභීන් අතර මැතිව්ස් ලකුණු 839ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 740ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 471ක් ලබා සිටිති.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 03.30ට පමණ තරගය ආරම්භ වීමට නියමිතව තිබුණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment