ටොරින්ටන් ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර තලයේ මධ්‍යස්ථානයක් කරනවා…. ඇමැති නාමල් රාජපක්‍ෂ

330

ජිම්නාස්ටික් සඳහා ටොරින්ටන් පිහිටි පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර තලයේ මධ්‍යස්ථානයක් බවට පත් කරන බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජිම්නාස්ටික් ක‍්‍රීඩාවේ ප‍්‍රවර්ධනයට මූල්‍ය ප‍්‍රදානයක් ලබාදීමේ ගිවිසුම්ගත අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහණ අපේක්ෂාවෙන් මෙරට තුළ ජිම්නාස්ටික් ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සමග ගිවිසුම්ගතවෙමින් මූල්‍ය ප‍්‍රදානයක් ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (16* ටොරින්ටන් ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ටොරින්ටන් ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර තලයේ මධ්‍යස්ථානයක් කරනවා.... ඇමැති නාමල් රාජපක්‍ෂ

ජිම්නාස්ටික් ක‍්‍රීඩාවේ නිරත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 35,998,000 /-ක මුදලක් ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙත මෙම ගිවිසුමට සමගාමීව ප‍්‍රදානය කෙරිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘ජිම්නාස්ටික් ක‍්‍රීඩිකාවක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උළෙල සඳහා ඉදිරිපත් වූවා. එහි විශේෂත්වය වුණේ ඇය ඔලිම්පික් සාධනීය මට්ටම මත සුදුසුකම් ලැබූ ක‍්‍රීඩිකාවක් වීමයි.

ඉදිරි වසර කිහිපය තුළ අපට පදක්කම් දිනන්න පුළුවන් ක‍්‍රීඩාවක් විදියට ජිම්නාස්ටික් ක‍්‍රීඩාව හඳුන්වා දෙන්න පුළුවන් යැයි අපි විශ්වාස කරනවා. දරුවන් කුඩා කල සිටම ජිම්නාස්ටික්, යෝගා වැනි ක‍්‍රීඩාවලට යොමු කිරීම මගින් අනෙක් ක‍්‍රීඩාවලට අවශ්‍ය දරුවන්ගේ කායික සහ මානසික ශක්තිය මේ තුළ නිර්මාණය වෙනවා.

එම නිසා ක‍්‍රීඩා සභාව තීරණය කර තිබෙනවා ජිම්නාස්ටික් ක‍්‍රීඩාවට විශේෂත්වයක් දැක්විය යුතුයි කියලා. එය ලංකාවේ ප‍්‍රචලිත කරන්න අවශ්‍යයි කියන කාරණය තුළ ඔවුන් ඉන්නවා.

2024 ඔලිම්පික් උළෙලට යන ගමනේ දී ලබන වසරේ පැවැත්වෙන ආසියානු තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඉලක්ක කරගෙන ජිම්නාස්ටික් සංගමයත් එක්ක මිලියන 36 ක ගිවිසුමක් අපි අත්සන් කළා.

ජිම්නාස්ටික් පුහුණුවීම් සඳහා වෙන් කර ඇති මෙම ශාලාව මිලියන 70 ක් වෙන් කර ජාත්‍යන්තර තලයේ ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානයක් බවට නවීකරණය කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ටික හදලා දෙන්න වැඩ කටයුතු ආරම්භ කළා.

මාතර ක‍්‍රීඩා සංකීර්ණය ජිම්නාස්ටික් සංගමය වෙත පවරා ජිම්නාස්ටික් ක‍්‍රීඩාවේ ප‍්‍රධාන මූලස්ථානය ලෙස සංවර්ධනය කරන්න මේ වෙන කොට එම සංගමය සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඉදිරි කාල සීමාව තුළ ජිම්නාස්ටික් ක‍්‍රීඩාව ඔලිම්පික්, ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ජයග‍්‍රහණය කළ හැකි ක‍්‍රීඩාවක් බවට පත් වෙනවා වගේම, අනෙක් හැම ක‍්‍රීඩකයෙක්ටම තමන්ගේ ලාබාල වයසේදීම මේ ක‍්‍රීඩාව හරහා තමන්ගේ කායික හා මානසික ශක්තිය හදාගන්න පුළුවන් පසුබිමක් මේ තුළ නිර්මාණය වෙනවා. ජිම්නාස්ටික් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම තුළින් අනෙක් හැම ක‍්‍රීඩාවටම හොඳ පදනමක් ගොඩනැගෙන බව අපි විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment