එක්ලක්ෂ විසිපන්දහසේ ඖෂධය ලක්‍ෂ හතකට  අලෙවි කරන බව විමර්ශනයේදී හෙළිවෙලා…. ටොසිලිසුමාබ් අධික මිලට අලෙවි කළ පුද්ගලයෙක් හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

279

එක්ලක්ෂ විසිපන්දහසේ ඖෂධය ලක්‍ෂ හතකට  අලෙවි කරන බව විමර්ශනයේදී හෙළිවෙලා අසාධ්‍ය කොවිඞ් රෝගීන් සඳහා ලබාදෙන ටොසිලිසුමාබ් ඖෂධ අධික මිලකට අලෙවි කළ පුද්ගලයකු සහ ඊට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් ඉකුත්දා රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර මෙම ඖෂධය අධික මිලකට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ප‍්‍රසිද්ධ රෝහලක් ඉදිරිපිටදී මෙම ඖෂධය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම අධිකාරියේ විමර්ශන හා නීති බලගැන්වීම් අංශයේ ප‍්‍රධානී හා ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම ඖෂධය මෙරට අධික හිඟයක් පවතින අවස්ථාවක තැරැුව්කරුවන් යොදා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් රුපියල් එක්ලක්‍ෂ විසිපන්දහසක් පමණ වන මෙම ඖෂධය රුපියල් ලක්‍ෂ හතකට පමණ අලෙවි කරන බවත් සිදු කළ විමර්ශනවලදී අනාවරණයවූ බවත් අමිත් පෙරේරා මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් තැරැුව්කරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී දෙමටගොඩ ප‍්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කළ ඖෂධ අධිකාරියේ නිලධාරීන් එම නිවසේ ශීතකරණයේ තබා තිබූ ටොසිලිසුමාබ් ඖෂධ 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඖෂධය නිපදවීම සදහා මුළු ලෝකයෙන්ම පේටන්ට් බලපත‍්‍රය හිමිව ඇත්තේ එක් සමාගමකට බවත් එම සමාගමේ මෙරට නියෝජිතයන්ට පවා මේ වන විට එම ඖෂධය සඳහා ඇති අධික ඉල්ලූම නිසා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදාවී ඇති බවත් අමිත් පෙරේරා මහතා සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත, ප‍්‍රධාන විධායක නිලධාරි, අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන හා නීති බලගැන්වීම් අංශයේ ප‍්‍රධානී හා ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා, ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් වන මහින්ද සිරිකුමාර, චන්දන ගුරුසිංහ, සහායක ප‍්‍රමෝද වීරකෝන් යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment