ටෝකියෝ 2020 ට ශී‍්‍ර ලංකාවෙන් ලක්‍ෂ 220 ක්

196

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන්ට අදාළ වියදම් මෙන්ම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අදාළ ආම්පන්න ගෙන යෑම ආදී සියලූ වියදම්වල එකතුව ලෙස රුපියල් ලක්‍ෂ 220 ක ඇස්තමේන්තුවක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඊයේ (09 වැනිදා) මාධ්‍ය වෙත නිවේදනය කරනු ලැබීය.
 
 කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 06 දෙනකු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලට සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර ඔලිම්පික් වියදම් ඇස්තමේන්තුවට අදාළ මිලියන 22 මුදලින් සියයට 41.4 ක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දරන බවද එම නිවේදනයේ දැක්වේ.
 
 එම මුදල රුපියල් මිලියන 9.2 ක් වන බවත් ජාතික ඔලිම්පික් කමිටු භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.
 
 අදාළ බරපැනවලින් සියයට 58.7 ක් කී‍්‍රඩා අමාත්‍යාංශය දරන බවත් භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා ‘දිවයින’ට ප‍්‍රකාශ කර සිටියේය. කොවිඞ් – 19 වලට අදාළ සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද සඳහා මෙන්ම මාධ්‍යවේදීන්ට අදාළ වියදම් මෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නවාතැන් සම්බන්ධ වියදම් ද ඊට අදාළ බවත් ගාමිණී ජයසිංහ මහතා සඳහන් කර සිටී.
 
 තුරඟ හරඹ බාධක පැන්නීමේ තරග කී‍්‍රඩාවට අදාළ අශ්වයා ප‍්‍රවාහන කටයුතු සඳහා රුපියල් මිලියනයක මුදලක් ද, වෙඩි තැබීමේ කී‍්‍රඩාවට අදාළ උපකරණ ප‍්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 4 ක් ද අනෙකුත් කී‍්‍රඩා ආම්පන්න ප‍්‍රවාහනයට අදාළ මුදල් වියදම් ද ඒ අතර වේ.
 
 ශී‍්‍ර ලංකාවෙන් මේ වනවිට තුරඟ හරඹ බාධක පැන්නීමේ තරගයෙන් මැටිල්ඩා කාර්ල්සන්, ජිම්නාස්ටික් ඉසව්වෙන් මිල්කා ගිම්හානි, වෙඩි තැබීමේ ඉසව්වෙන් ටෙහානි එගොඩවෙල සහ බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් නිලූක කරුණාරත්න 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇත.
 
 තුරඟ හරඹ – බාධක පැන්නීමේ ඉසව්වට අදාළ අශ්වයාට සහ කී‍්‍රඩිකාවට 4 දෙනකුගෙන් යුත් සහායක මණ්ඩලයක් අවශ්‍ය වන අතර ඔවුන්ට අදාළ වියදම් ද මේ ඇස්තමේන්තුව තුළ අන්තර්ගත වේ.
 
 අදාළ සහායක මණ්ඩලයට අශ්වයා පිරිසිදු කරන්නා, අශ්වයාගේ අයිතිකරු, පශු වෛද්‍යවරයෙක් සහ පුහුණුකරුවෙක් ඇතුළත් වේ. ශී‍්‍ර ලංකාවෙන් දැනට ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4 දෙනාට අමතරව පිහිනුම් කී‍්‍රඩාවෙන් මැතිව් අබේසිංහ සහ අනිකා ගාපුර් ද ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුව විශ්වාසය පළ කරන බවද එම නිවේදනයේ දැක්වේ.
 
 ඒ අනුව අදාළ කී‍්‍රඩා ඉසව් සඳහා එක් පුහුණුකරුවෙක් බැගින් ද ඔලිම්පික් උළෙල නියෝජනය කරන අතර එම සියලූ වියදම් මෙම රුපියල් මිලියන 22 තුළ අන්තර්ගත බවද ජයසිංහ මහතා සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment