ටෝච් එක ගහල බලද්දී පොල් ගහක් ගාව කුඩුපට්ටම් වෙච්ච වාහනයක් දැක්කා – ගම්වැසියෙක් කියයි

1062

නොවැම්බර් 18 වන දින රාත්‍රී 10 කනිසම ඔවුන් සුසුම් හෙලන අවසන් හෝරාව බව ඔවුන් කිසිවෙකුත් හීනෙකින් හෝ නොසිතන්නට ඇත. මේ වන විට එකම ගමේ එකම මොහොතේ මරණ ගෙවල් තුනකින් ඇසෙන අඳෝනාවෙන් මුළු ගල්ගමුවම කම්පා වෙමින් තිබේ. රටට වටින තරුණ ජීවිත 3 ක් අකාලයේ අහිමිව යාම කෙසේ දරන්නද? වරද කාගේ වුවද මෙවන් විපත් නැවත සිදු වීමට ඉඩ නොතැබීම කොයි කාගේත් වගකීම බව නම් තරයේම කිව යුතුය.

නාන්නේරිය ප්‍රදේශයේ සාදයකට ගොස් ආපසු එමින් සිටියදී ඉහලගම ප්‍රදේශයේ ඇති මාරක වංගුවක් පසු කිරීමට යෑමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වම් පසින් තිබූ කොන්ක්‍රීට් කණුවක ගැටී තිබේ. රථයේ අධික වේගය නිසා රථය ඉහළට එසවී මීටර් 10 ක් පමණ ඉදිරියෙන් තිබූ අඩි 06 ක් පමණ උසින් යුත් තාප්පයේ ගැටී ඇත. රථයේ 05 දෙනකු ගමන් ගත්තද රියැදුරු හැර කිසිවකුත් ආසන පටි පැළඳ සිට නැත. ඒ නිසාම තාප්පයේ වැදීමත් සමගම රථයේ සිටි කිහිපදෙනකු ඈතට විසි වී ගොස් ඇත. තාප්පයේ වැදීමෙන්ද නොනැවතුණු රථය මීටර් 15 ක් පමණ දුරින් තිබූ පොල් ගසක වැදී ඇත්තේ අඩි 10 ක් පමණ ඉහළින් ගොස්ය. රථයේ කොටස් තැන් තැන්වල විසි වී තිබිණි. ඇසුන දැඩි ශබ්දය නිසා ප්‍රදේශවාසීන් පැමිණ බලන අවස්ථාවේ රියැදුරු පමණක් රථයේ සිර වී සිටින අයුරු දැකගත හැකි වී ඇත. අනෙක් සිව් දෙනා තැන් තැන් වල විසි වී වැටී සිට තිබේ. එක් අයෙකු හැර තිදෙනකු එතනම මිය ගොසින්ය. රථයේ සිරවී සිටි රියැදුරු දැඩි පරිශ්‍රමයකින් පසු එලියට ගෙන 5 දෙනාම ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. ජීවතුන් අතර සිටි රථයේ රියැදුරු වන 22 දෙහැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ හංස සංදීප හා අතර සිටි 52 හැවිරිදි කුරුප්පු ආරච්චිගේ රංබඩා යන අයව වහා අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇත්තේ ඔවුන්ගේ තත්ත්වයද බරපතළ බැවිනි.

මෙම අනතුරෙන් මිය ගිය තිදෙනාම නොච්චිය, වන්නිකුඩාවැව පදිංචි එකම ගමේ තරුණයන්ය. එක් අයෙකු අනුරාධපුර, සාලියපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ කීර්තිමත් මේජර් වරයෙකි. 35 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ දිනේෂ් විජිත කුමාර නමැති මොහු පසුගිය නොවැම්බර් 10 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබුණේය. අනතුරට ලක් වූ රථයද ඔහුගේය. එම රථයද මීට දින කිහිපයකට පෙර මිලදී ගනු ලැබූවකි. තනතුරු තානාන්තර පසෙකලා ප්‍රදේශයේ කොයි කවුරුත් සමග ඉතා කුලුපගව ඇසුරු කරන දිනේෂ් විවාහක පුද්ගලයෙක් වුවද ඔහුගේ බිරිඳ විදේශ රටක ඒජන්සියක් පවත්වාගෙන යන හෙයින් වැඩිපුරම ඇය සිටින්නේ එතෙරය. නිවාඩු පැමිණෙන දිනේෂ් නිවසේ කිසිවකුත් නැති නිසා ඇතිවන පාළුව මගහැර ගැනීමට තම ග්‍රාමයේ හිතවතුන් සමග හිඳ හිට මීවිත පොදක් තොල ගෑම පුරුද්දක් කරගෙන සිට ඇත. වැඩිපුරම තමන්ගේ නිවසේ සිටම සාද පැවැත්වුවද වෙනසකට කියා

පසුගිය 18 දින තම හිතවතුන් කිහිප දෙනකු සමග නාන්නේරිය ප්‍රදේශයේ නිදහස් පරිසරයක මෙලෙස සාදයක් පවත්වා ඇත. මෙම මාරක අනතුර සිදුව ඇත්තේ එම සාදය හමාර කර නිවසට ඔන්න මෙන්න කියා තිබියදීය.

දිනේෂ් සමග අනතුරෙන් මිය ගියේ 30 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ චතුර සුභාෂන ප්‍රේමලාල් හා 36 හැවිරිදි ඒකනායක මුදියන්සේලාගේ රුවන් තිලංග යන අයවලුන්ය. ඔවුන් දිනේෂ්ගේ කුඩා කල පටන්ම දන්න හඳුනන ඉතා සමාජශීලී මිතුරන් දෙදෙනකු වන අතර 36 හැවිරිදි රුවන සුභාෂණ විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ මේ වන විට ගර්භණී තත්ත්වයෙන් පසු වන්නේය.

ගල්ගමුව මහ රෝහලේදී මොවුන්ගේ මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර රථයෙන් එලියට විසි වීම නිසා හිසට හා ශරීර අභ්‍යන්තර කොටස්වලට සිදු වූ බරපතළ හානි වලින් තිදෙනාම මරණයට පත් වී ඇති බව නිගමනය කර ඇත.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි නිමල් කුමාර මහතා ‘දිවයින’ට මෙලෙස අදහස් දැක්වීය.

රෑ 10.20 ට විතර බෝම්බයක් ගහනව වගේ ලොකු සද්දයක් ආවා. ඇවිල්ල බලද්දි තමයි දැක්කේ මේ අක්කලගේ ගෙදර තාප්පේ කැඩිල තියෙනවා. හැබැයි හැප්පුන වාහනයක් නෑ. අපි කිප දෙනෙක්ම ටෝච් ගහල බලද්දි තමා දැක්කේ අල්ලපු වත්තේ පොල් ගහක්

ගාව කුඩු පට්ටම් වෙලා ගිය වාහනයක් තියෙනවා. අපි ඒ කිට්ටුවට යද්දි වාහනේ අතුළෙන් කෑ ගහන ශබ්දයක් ඇහුණා. බලද්දි වාහනේ ඩැයිවර් ඇතුළේ හිර වෙලා. අපි කට්ටිය එකතු වෙලා එයාව එලියට ගත්තා. එතකොට තමයි ඒ මල්ලි කීවේ එයත් එක්ක තව හතර දෙනෙක් ආවා එයාලා වාහනේ ඇතුළේ නෑ පොඩ්ඩක් බලන්න කියලා. අපි ටෝච් ගහල හොයද්දි තමයි දැක්කේ. දෙයියනේ හතර දෙනා හතර පොලක. වාහනේ තව තැනක. මාම කෙනෙක් හිටියා එයා කෙඳිරි ගෑව අනිත් අය එතනමයි. අපි 1990 ටයි 119 එකටයි කතා කරලා කීවා.

ගල්ගමුව රථ වාහන පොලිස් ස්ථානාධිපති අයි. එම්. යූ. බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.
කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment