ට‍්‍රැෆික් සුනේ සුන්: කොහුවලටත් ගුවන් පාලමක්

441

* දිග මීටර 297යි
 
 * වියදම රු.මි. 2166යි

 
 
එක් දිනක් ඇතුළත කොහුවල මංසන්ධිය පසුකර යන පදිකයන් ගණන 11000 ට අධිකය. ඊට අමතරව කාර්යබහුල වේලාවන් ගත් කල පැයක් ඇතුළත කොහුවල මංසන්ධිය පසුකර ධාවනය වන රථ වාහන සංඛ්‍යාව 6400 ක් පමණ වන බව ගණනය කර ඇත. එපමණක් නොව දිනක් තුළ නුගේගොඩ සිට කොහුවල දෙසට ගමන් කරන රථ වාහන ප‍්‍රමාණය 39000 ට අධිකය. කළුබෝවිල සිට කොහුවල දෙසට ගමන් කරන රථවාහන ප‍්‍රමාණය ද අඩුවක් නැත. එලෙස ගමන් කරන රථවාහන ප‍්‍රමාණය 25000 ට අධිකය. එතැනින්ද නතර වීමක් නැත. කොළඹ සිට කොහුවල දෙසට වැල නොකැඞී පැමිණෙන වාහන සංඛ්‍යාව ද ඊට ඇතුළත්ය. ගණනය කර ඇති ආකාරයට එලෙස පැමිණෙන වාහන ප‍්‍රමාණය 50,000කට අධිකය.
 
 සතර මහා ගංගා එක්තැනකට ගලන්නා සේ එලෙස පැමිණෙන වාහන කන්දරාවට පිලියන්දල ආදී ප‍්‍රදේශ පසුකරමින් කොහුවල දෙසට පැමිණෙන රථ වාහන 43000ක් පමණ එකතු වූ විට තත්ත්වය තවත් බරපතළය. කලක පටන් මේ සා විසල් රථවාහන බරක් උසුලන කොහුවල හතරමං හන්දිය සිය හන්දිපත් රුදාව රටේ ජනතාව මත මුදාහරිනු ලබන්නේ කොහුවල මංසන්ධිය තුළ පමණක් නොව ප‍්‍රදේශයේ පිහිටි අනිකුත් අතුරු මාර්ගය තුළ පවා දිනපතා අධික වාහන තදබදයක් ඇති කරවමින්ය.
 
 ඒ හේතුවෙන් කාර්යබහුල වේලාවන් තුළ හොරණ කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරන රථවාහන පැපිලියාන සිට පාමංකඩ දක්වා ධාවනය කළ හැකි උපරිම වේගය බවට පත් වන්නේ පැයට කිලෝමීටර 07ත්, 12ත් අතර වේග සීමාවකය. සාමාන්‍යයෙන් ගත්විට පැයක් ඇතුළත පා ගමනින් ගමන් කරන පුද්ගලයෙකුට ඉහත සඳහන් වේගයට වඩා වැඩි වේගයක් පවත්වා ගත හැක. කාර්යබහුල නොවන වේලාවන් ගත් කල ද මෙම තත්ත්වයේ වැඩි වෙනසක් නැත. එවැනි කාලවේලාවක් තුළද පැපිලියාන සිට කොහුවල මංසන්ධිය පසුකර පාමංකඩ දක්වා ගමන් කිරීමේදී රථ වාහනයක් ධාවනය කළ හැකි වේගය බවට පත්වන්නේ පැයට කිලෝමීටර 14ත් 25ත් අතර වේගයක්ය. එබැවින් මේ කියන ප‍්‍රදේශය තුළ දවසේ ඕනෑම වෙලාවක අධික වාහන තදබදයක් දැකගත හැක. මේ කියන ඉබි ගමන හේතුවෙන් බොහෝ දෙනෙකුගේ කාලයත් මුදලත් නිකරුනේ වැයවන්නේ මහමගටය. එය අදක ඊයෙක සිදුවූවක් නොව දැනට කලකට ඉහත සිට දැකගත හැකි සාමාන්‍ය තත්ත්වයක්ය.
 
 ඉහත සඳහන් අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් පරිදි වත්මන් රජය විසින් ක‍්‍රියාත්මක මහා මාර්ගයන් හි පවතින අධික වාහන තදබදය අවම කිරීමේ සංකල්පය යටතේ ඉදිවන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297කින් යුක්තය. එම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් පවත්වන ලද සමාරම්භක උත්සවය 2021.06.07 වන දින මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ඇරයුමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
 
 කොහුවල ගුවන් පාලම ඇතුළු පාලම් කිහිපයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය. යෝජිත කොහුවල ගුවන් පාලම මීටර 9.4 ක පළලින් යුක්ත ව ඉදිකරන අතර එය මංතීරු 2කින් සමන්විතය. නුගේගොඩ මංසන්ධියේ පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ඉදි කරන ලද ගුවන් පාලම තරමටම වැදගත් ගුවන් පාලම ඉදිවීමෙන් අනතුරුව නවීනතම තාක්ෂණය ඔස්සේ ඉදි කරන ලද තවත් ගුවන් පාලමක් මෙරට මාර්ග පද්ධතියට එකතු වීමට නියමිතය. දෙපසට දිවෙන සේවා මාර්ග හතරක් සහිතව ඉදිවන මෙම ගුවන් පාලම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 2166.00ක් බව ගණන් බලා ඇත. එම සමස්ත පිරිවැය දරණු ලබන්නේ හංගේරියානු රජය විසින්ය. මාස 22ක් ඇතුළත මෙම ගුවන් පාලම නිම කිරීමට අපේක්ෂිතය.

– රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment