ඩකා මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් හයක් නම් කරයි

175

බංග්ලාදේශ බංගබන්දු ඩකා ආරාධිත මැරතන් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී කිරීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

කෙන්යාව, ඉතියෝපියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, මොරොක්කෝව, උගන්ඩාව, ලිතුවේනියා, යුක්රේනය ඇතුළු රටවල් 10 කට වැඩි සංඛ්‍යාවකින් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන මෙම තරගය 2024 ජනවාරි 26 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කොට ගෙන පැවැත්වීමට නියමිතය.

හය දෙනකුගෙන් සමන්විත මැරතන් ක්‍රීඩක කණ්ඩායමක් ඒ සඳහා සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.

පසුගියදා නිමාවට පත් වූ ජාතික ක්‍රීඩා තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතරින් එම කණ්ඩායම තෝරා ගෙන ඇත.

ඒ අනුව ක්‍රීඩකයින් 3 ක් ක්‍රීඩිකාවන් 3 ක් පුහුණුකරුවකු සහ කළමනාකරුවකු එම කණ්ඩායමට ඇතුළත් වේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ සංචාරය සඳහා වැයවෙන සියලුම ගුවන් ප්‍රවේශපත්‍ර, ඉඳුම් හිටුම් සහ ආහාරපාන බංගලාදේශ මලල ක්‍රීඩා බලධාරීන් විසින් දැරීම විශේෂත්වයකි.

බංග්ලාදේශ නිර්මාතෘ ශෙයික් මුජිබ් අනුස්මරණය කරමින් 2021 වසරේ සිට ක්‍රියාත්මක මෙම ආරාධිත මැරතන් තරගය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය යටතේ පැවැත්වීමට පියවර ගෙන ඇත.

කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රියාත්මක මෙම තරගයේදී සුපිරි අංශය ජයග්‍රාහකයාට ඇමරිකානු ඩොලර් 15000 ක් ද, දෙවැනි ස්ථානයට ඇමෙරිකානු ඩොලර් 10000 ක්ද, තුන්වෙනි ස්ථානයට ඇමරිකානු ඩොලර් 5000 ක්ද පිරිනැමෙන අතර දකුණු ආසියානු කලාපීය රටවල සහ බංග්ලාදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙනම ත්‍යාග මුදල් පිරිනැමීමට පියවර ගෙන ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment