ඩකා සිනමා උළෙලේ සිරිමාවෝ ජයගනී

146

ලංකාවේ වාර්තා චිත්‍රපට සංස්කෘතියක් නැහැ…..

බංග්ලාදේශයේ ඩකා නුවර දී ඉකුත් 22 නිමාවට පත්වූ 21 වැනි ඩකා අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කළ “Our mother, Grand mother, Prime minister Sirimavo” වාර්තා චිත්‍රපටය සඳහා හිමි විය. කාන්තා අධ්‍යක්ෂවරියන් විසින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපට අතරින් විශිෂ්ටත්වයට පත්වූ එම නිර්මාණය පිළිබඳ එහි අධ්‍යක්ෂවරිය වූ අනෝමා රාජකරුණා සමග සිදුකළ කතාබහක් පහත පළ වේ.වාර්තා චිත්‍රපට පිළිබඳ වැඩි නැඹුරුවක් නැති රටක් ලෙස අපට මෙම සම්මානය සුවිශේෂී වෙනවා.

ඩකා අන්තර් ජාතික සිනමා උළෙල පිළිබඳ කෙටි හැඳින්වීමක් සහිතව මේ කතාබහ ආරම්භ කරනවා නම්…..

කලාපීය වශයෙන් ගත්විට යම් ඉතිහාසයක් සහිත සිනමා උළෙලක් වශයෙන් බංග්ලාදේශයේ ඩකා අන්තර් ජාතික සිනමා උළෙල හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ සිනමා උළෙලේ පවතින තවත් විශ්ෂත්වයක් තමයි කාන්තාවන්ගේ සිනමාව ගැන වැඩි අවධානයක් යොමු කර තිබීම. ඒ වගේම මෙම සිනමා උළෙලට සමාන්තරව සෑම වසරක ම දින දෙකක සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. සිනමාවේ කාන්තාවෝ කියන මාතෘකාව යටතේ තමයි සෑම වසරක ම එම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නෙ. 2020 වසරේ සහ මෙවර පවත්වන ලද එම සම්මන්ත්‍රණයට සහභාගි වීමේ අවස්ථාව මට උදා වෙනවා. ඒ එක්කම ලෝකයේ සිනමාකාරියන් වෙනුවෙන් වෙනම අංශයක් ඩකා අන්තර් ජාතික සිනමා උළෙල ඇතුළෙ පවත්වගෙන යන්න කටයුතු කර තිබීමත් මා දුටු විශේෂ දෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ඔබ විසින් අධ්‍යක්ෂණය කරන ලද Our Mother, Grand mother, prime minister – sirimavo වාර්තා චිත්‍රපටය ඉදිරිපත් කරන්නෙ ඒ අංශය යටතේ ද?

ඔව්. මා විසින් අධ්‍යක්ෂණය කළ ඒ නිර්මාණය ඇතුළු තවත් වාර්තා චිත්‍රපට 23ක් පමණ මෙවර සම්මානය පිණිස ඉදිරිපත් කරලා තිබුණා. ඒ අතරින් හොඳම වාර්තා චිත්‍රපටය ලෙස තමයි මා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය සඳහා සම්මානය හිමි වුණේ.

ඩකා සිනමා උළෙලේ සිරිමාවෝ ජයගනී

මීට පෙරත් ඩකා අන්තර් ජාතික සිනමා උළෙල සඳහා ඔබ විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපට ඉදිරිපත් කළ අවස්ථා පවතිනව ද?

මෙම සිනමා උළෙල සඳහා මීට වසර දෙකකට පමණ පෙර ජූරි සාමාජිකාවක් වශයෙන් මම සහභාගි වුණා. මම විශ්වාස කරන හැටියට ඒ අවස්ථාව ලද පළමු ශ්‍රී ලාංකිකයා මම විය යුතුයි. ඒ හැර මා විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපට මෙතෙක් කලක් ඒ සඳහා ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. නමුත් අපේ රටේ වෘතාන්ත චිත්‍රපට හැම වසරක ම ඒ සඳහා ඉදිරිපත් කරනවා. 2020 වසරේ ගාඩි චිත්‍රපටයට ජූරියේ විශේෂ සම්මානයක් පවා එවර හිමි වුණා.

මෙවර මුල්වරට වාර්තා චිත්‍රපටයක් සඳහා හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම විශේෂ සිදුවීමක් ලෙස ඔබ දකිනවා ද?

මෙහෙමයි. අපේ රටේ වාර්තා චිත්‍රපට පිළිබඳ සංස්කෘතියක් නැහැ. බොහෝ වෙලාවට වෘතාන්ත චිත්‍රපට මුල් කරගත් සිනමාවක් තමයි දකින්නට ලැබෙන්නෙ. එම නිසා අපේ වැඩි නැඹුරුවක් තියෙන්නෙ වෘතාන්ත චිත්‍රපට සඳහා පමණයි.

අන්තර් ජාතික වශයෙන් ඇගයුමට ලක්වූ Our mother, Grand mother prime minister – sirimavo වාර්තා චිත්‍රපටය පිළිබඳවත් කෙටි පැහැදිලි කිරීමක් කරනවා නම්….

ඩකා සිනමා උළෙලේ සිරිමාවෝ ජයගනී

සිරිමාවෝ මැතිනියගේ ජන්ම ශත සංවත්සරය යෙදිල තිබුණෙ 2016 වර්ෂය ට. ඒ අවස්ථාවේ දී මැතිනිය පිළිබිඳ යම් උනන්දුවක් සහ ඇල්මක් දක්වන ලද පිරිස විසින් ඒ නිමිත්තෙන් උත්සවයක් සංවිධානය වන අවස්ථාවේ දී තමයි මැතිනියගේ ජීවිතය අළලා මේ වගේ නිර්මාණයක් කළ යුතුයි කියන අදහස මුල්වරට එන්නෙ. ඇයව අපි හඳුන්වන්නෙ ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන් පමණයි. නමුත් මැතිනිය කියන ගැහැනිය කවුද කියලා ඒ වනවිට ප්‍රමාණවත් කතාබහක් සිදුවෙලා තිබුණෙ නැහැ. මේ චිත්‍රපටය හරහා ඒ පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම තමයි මගේ උත්සාහය බවට පත් වුණේ. එතැනදී මැතිනියගේ ළඟින්ම හිටිය අයගේ මතකයන් යළි අවදි කරලා ඒ මතකයන් පුළුල් තිරයට ගෙන ඒමට ගත් උත්සාහයක් ලෙස මේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

ඒ මතකයන් මොන මොන පුද්ගල චරිත හරහා ද නැවත මතු කර ගන්නෙ.

මැතිනියගේ දියණියන් දෙදෙනා වන චන්ද්‍රිකා බණ්ඩාරනායක හා සුනේත්‍රා බණ්ඩාරනායක ඒ වගේම එතුමියගේ ළඟින්ම කටයුතු කළ පරිපාලන නිලධාරීන් දෙදෙනකු වූ ධර්මසිරි පීරිස්” නිහාල් ජයවික්‍රම” විමුක්ති කුමාරතුංග” යශෝදරා කුමාරතුංග ආදී මහත්ම මහත්මීන්ගේ මතකයන් ඊට අමතරව බණ්ඩාරනායක පවුල සතු ඡායාරූප එකතුවෙන් තෝරාගත් ඡායාරූප සහ වෙනත් වෙනත් සංරක්ෂිත දර්ශන ආදිය මේ සඳහා වැඩි වශයෙන් යොදා ගත්තා.

ඒ සඳහා බණ්ඩාරනායක පවුලෙන් ලැබුණ සහයෝගය මොනවගේ ද?

ඩකා සිනමා උළෙලේ සිරිමාවෝ ජයගනී

ඇත්තට ම ලොකු සහයෝගයක් ලැබුණා. මොකද ඒ වෙනතුරු ම විමුක්ති සහ යශෝදරා තමන්ගේ මිත්තණිය පිළිබඳ කතා කරලා තිබුණෙ නැහැ. මේ නිර්මාණය හරහා ප්‍රථම වතාවට තමයි ඔවුන් තමන්ගෙ මිත්තණිය පිළිබඳව කතා කරන්නෙ. චන්ද්‍රිකා මැතිනිය පවා දෙතුන් වරක් ම සම්මුඛ සාකච්ඡා ආදියට සහභාගි වෙමින් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ අනුව පරම්පරා තුනක නියෝජනයක් මේ නිර්මාණය ඇතුළෙ පවතිනවා. ඒ අයත් සමග දීර්ඝ වශයෙන් සිදු කළ කතාබහ ඔස්සේ දේශපාලන පුහුණුවකින් තොරව මැතිනිය අග්‍රමාත්‍ය ධුරයේ වැඩ රාජකාරි කළ ආකාරය එතැනදී ඇගේ ජීවිතයේ අභියෝග බවට පත්වුණේ මොන මොන වගේ දේවල් ද ඒ අභියෝග මැතිනියගේ දරුවන්ට බලපෑවෙ කෙසේ ද? ඒ වගේම මැතිනිය කියන්නෙ තමන්ගේ දේශපාලන ජීවිතයේ දී බොහෝමයක් අලකලංචිවලට මුහුණ දුන් කාන්තාවක්. එපමණක් නොවෙයි” ඒ වනවිටත් ඇය වැන්දඹුවක්. එහෙම තත්ත්වයක් තුළ ගැහැනියක් විදිහට මැතිනිය ඒ අභියෝග ආදියට මුහුණ දුන්නා. ඇය දරුවන් තිදෙනකුගේ මවක් ලෙස නිවසක් පාලනය කරමින් සහ ඊට අමතරව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස රටකට නායකත්වය දෙමින් පැමිණි ගමන්මග දෘෂ්ටි කෝණ තුනකින් විවරණය කිරීමක් මේ නිර්මාණය තුළින් දැක ගන්නට ලැබෙනවා.

මේ නිර්මාණය පිළිබඳ ජාත්‍යන්තරය කතාබහ කළේ මොන ආකාරයෙන් ද?

සම්මාන උළෙලින් පස්සෙ ජූරි සභිකාවන් දෙනෙක් මා සමග කතාබහක නිරත වුණා. ඉන් එක් අයෙක් ඉන්දියාව හා ඇමරිකාව යන රටවල් දෙකෙහි ද්විත්ව පුරවැසි භාවය හිමි කාන්තාවක්. අනික් කාන්තාව යුගෝස්ලොවියාව නියෝජනය කළ කාන්තාවක්.

ඒ අය මැතිනියගේ දේශපාලන මතවාදය පිළිබඳ උනන්දුවක් දක්වන්නියන් ලෙස මා සමග බොහෝ දේ කතාබහ කළා. චිතගෝන්වල මහාචාර්යවරයෙක් ඇවිත් හිටියා සම්මාන උළෙල සහභාගිවීම පිණිස. ඔහුත් මා සමග මැතිනිය පිළිබඳ බොහෝ දේ කතාබහ කළා. ඒ වගේම තරුණ නිර්මාණකරුවන් කීපදෙනෙක් ඇතුළු දැනට බංග්ලාදේශයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මැතිනිය පිළිබඳ කතාබහ කරන්න ගත්ත මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමත් සමග එතැනදී බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ දෙයක් තමයි මෙතෙක් කලක් මැතිනිය පිළිබඳ ඔවුන් නොදැන සිටි කාරණා රැසක් මේ හරහා තම තමන්ට දැන ගන්නට ලැබුණයි කියන කාරණ ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment