ඩඩ්ලි කියන ගාණට හාල් කන්න වෙන්නේ හඳෙන් ගෙනත්…

192

රජය සහල් සඳහා පාලන මිලක් පනවන ලද්දේ මෑතකදීය. එතෙක් සහල් මිල තමන්ගේ තනි මතයට තීන්දු කරන ලද්දේ දැන් මහජනයාට සහනයක් දිය යුතු බවට මහා හඬින් කියන හාල් මුදලාලි ගොල්ල අතේය. ආණ්ඩුව ඊයේ පෙරේදා සහල් පාලන මිල පනවද්දීත් එය කළේ හාල් මෝල් හිමි මුදලාලිලාට වාසිය අත්වන ආකාරයට බව අපට අමතක නැත. වෙළඳපොළේ එවකට පැවැති මිලට වඩා තවත් රුපියල් 10ක් වැඩියෙන් මිල පැනැවූයේ වෙළඳ ඇමැතිවරයා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ කතිකාකර සම්මුතියකින් පසුව බව අපට වඩා ඒ මෝල් හිමියෝ දනිති. කවුරු කොහොම කිව්වත් රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට කොතැනවත් නැතැයි පාරිභෝගික ජනතාව කියති. ඇතැම් වෙළඳසල්වල වැඩි මිලට සහල් ඇතැත් ඒවා ද මිලදී ගැනීමට සිදුව ඇත්තේ හොර මත්පැන්, ගංජා, අබිං මෙන් හොර රහසේ බවද පැවැසේ. අපේ රටේ නිපදවන සහල් මේ අන්දමට මිලදී ගැනීමට සිදුව ඇත්තේ එහි සැබෑ පාලනයක් රජයෙන් නොවන නිසා යැයි මහජනතාව කියති. මේ තත්ත්වය උද්ගත වූයේ සහල් මිල පාලනය රජය වෙතින් ගිලිහී ගොස් මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු අතට එය පත්වීම නිසා බව රහසක් නොවේ. මහා පරිමාණ සහල් මෝල් හිමියන් මොරගා, හඬඟා රටට ප්‍රකාශ කරන අන්දමට පාලන මිලට ගන්නට සහල් කොතැනකවත් නැති බව මහජනයා පෙන්වාදෙන්නේ එම නිසාය.

එමෙන්ම මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ වෙළෙඳපොළේ සහල් හිඟයත් අධික මිලත් එලෙසින්ම පවතින බවය. සහල් හිඟය ඇතිවී තිබෙන්නේ හිටිඅඩියේම රටේ වී හිඟයක් ඇතිවීම නිසා නොවේ. බළලා මල්ලෙන් එළියට පැන්නේ පාලන මිලට සහල් අලෙවි කිරීම සම්බන්‍ධයෙන් ඉකුත් 22 දින මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී නාඩු සහල් කිලෝවක රජයේ පාලන මිල රුපියල් 25කින් වැඩිකරන ලෙස ඉල්ලමින් පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියකු වන මිත්‍රපාල ලංකේෂ්වර මහතා කරුණු දක්වා තිබේ. ඔහු එහිදී පවසා ඇත්තේ මිල වැඩි කළහොත් කිසිම වෙලාවක වෙළඳපොළේ සහල් හිඟයක් ඇතිවෙන්නේ නෑ.’ යනුවෙනි.

මේ වනවිට මේ රටේ සහල් නිෂ්පාදනය එහෙම පිටින්ම තිබෙනුයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතේ බව නොරහසකි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් දැන් මුළුමනින්ම වාගේ වැසී ගොසිනි. එම නිසා මෙරට සහල් නිෂ්පාදනයේ ප්‍රබල ඒකාධිකාරිය මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතලොස්ස වටා කේන්ද්‍රගතවී තිබේ. සහල් මිල මෙන්ම ගොවියාගේ වී කිලෝවේ මිලද තීන්දුකරනුයේ මේ බලඇණිය විසින්මය. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් වැසීයෑමට මූලික හේතුව විශාල වශයෙන් වී තොග මිලදීගෙන ගබඩාකර ගැනීමට හැකියාවක් ඒ මෝල් හිමියන්ට නොවීමය. සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා ප්‍රකාශ කළේ මරඳගහමුල සහල් නිෂ්පාදනය මේවනවිට මුළුමනින්ම පාහේ ඇනහිට ඇති බවය. මෙතෙක් සහල් නිපදවීම කළ මෝල් ප්‍රමාණයෙන් සියයට අනූපහක් පමණ මේ වනවිට සහල් නිෂ්පාදනයෙන් තාවකාලිකව ඉවත්වී ඇති බව ඒ මහතා කීය. මේ හේතුවෙන් මරඳගහමුල සහල් තොග වෙළඳපොළ මුළුමනින්ම වාගේ කඩා වැටී ඇති බවද පැවැසීය. වී මිල පහළ මට්ටමක පවතිද්දී විශාල තොග මිලදී ගෙන ගබඩා කර ගැනීමට තරම් හැකියාවක් තමන්ට නොවන බව ඒ මෝල් හිමියෝ කියා සිටියහ. එමෙන්ම දැන් වී මිල ඉතා ඉහළ මටට්මක පවතින බවත් එම මිලට අනුව සහල් නිෂ්පාදනය කර රජයේ පාලන මිලට ලබාදීම කළ නොහැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් කෘත්‍රිම ලෙස සහල් හිඟයක් ඇති කරන බවට පසුගිය දිනවල පැවැති කටකතා දැන් සැබෑවක් වෙමින් තිබෙන බවට සාධක තිබේ. ඔවුන් සතුව ඉදිරි මාස තුනකට ප්‍රමාණවත් තරම් වී තොග තිබෙන බව මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියකු වන ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය සතියේ (18) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කර තිබුණි. මහජනතාවට සහනයක් සැලසීම සඳහා රජයේ පාලන මිලට සහල් අලෙවි කරන බවද හෙතෙම එහිදී කියා සිටියේය. ඒ අනුව නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 220 බැගින්ද සම්බා සහල් කිලොවක් රුපියල් 230ක්ද කීරි සම්බා කිලෝව රුපියල් 260කටත් රටේ ඕනෑම වෙළඳසලකින් මිලදී ගතහැකි බවද ඔහු පවසා තිබේ.

ඩඩ්ලි කියන ගාණට හාල් කන්න වෙන්නේ හඳෙන් ගෙනත්…

පසුව ඉකුත් බදාදා නැවත (22) කොළඹදී පැවැති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව යළිත් තහවුරු කර ඇති අතර එහිදීද ඔහු කියා ඇත්තේ ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට සහල් අලෙවි කරන බවය.එසේ පාලන මිලට යටත්ව සහල් අලෙවි නොකරන වී මෝල් වටලා රජය භාරයට ගතයුතු බවද සඳහන් කළේය. සහල් මාෆියාව ඩඩ්ලිගේ ලෙස ඇතැමුන් හැඳින්වුවද තමා නොව මාෆියාවක් ගෙනයන්නේ වැඩි මිලට සහල් විකුණන පුද්ගලයන් බවද එහිදී සඳහන් කර තිබේ. කිලෝ 64ක වී මිටියක් රුපියල් 7,500 බැගින් මිලදී ගත් විශාල තොගයක් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබෙන හෙයින් එම වීවලින් නිපදවන සහල් රජයේ පාලන මිලට ලබාදිය හැකි බව හෙතෙම එහිදී පෙන්වාදී තිබේ. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවූ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියකු වන මිත්‍රපාල ලංකේෂ්වර මහතා එහිදී කියා ඇත්තේ රජයේ පාලන මිලට සහල් ලබාදිය නොහැකි බවය. එම ප්‍රකාශයත් සමඟ උරණවී ඩඩ්ලි සිරිසේන මහතා සාකච්ඡා මේසයෙන් නැගිට පිටව යන අයුරු රටේ බොහෝ දෙනා රූපවාහිනී නාලිකා ඔස්සේ දකින්නට ඇත.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පසුගියදා(19) පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වන ඩඩ්ලි සිරිසේන, මිත්‍රපාල ලංකේෂ්වර සහ සිරිපාල ගම්ලත් යන තිදෙනා සහල් අලෙවියෙන් දිනකට රුපියල් කෝටි දහයකට ආසන්න ලාභයක් උපයන බවය. ජනතාව ගැන සිතා රටේ සහල් මිල තීරණය කළයුත්තේ ආණ්ඩුව මිස ඩඩ්ලි සිරිසේන නොවන බව එහිදී ඔහු පෙන්වාදී තිබේ. ආණ්ඩුවේ පාලන මිලට තමන් සහල් ලබාදෙන බව ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළද ඔහු නාඩු කිලෝවක් ලබාදෙන තොග මිල ලෙස දක්වා ඇත්තේ රුපියල් 218ක් හෙයින් ඒ මිලට සහල් ලබාගෙන සිල්ලර වෙළෙන්දාට රුපියල් 220ට එය අලෙවි කිරීමට නොහැකි බවද කියා සිටී. එම නිසා සිල්ලර වෙළෙන්දාට රුපියල් පහකවත් ලාභයක් තිබිය යුතු බවද පෙරේරා මහතා පෙන්වා දෙයි.

පහුගිය දවස් 10 ක කාලය පුරා මේ මහා පරිමාණ කණ්ඩායම ලංකාව පුරා සහල් තොග මුදා හැරියේ රුපියල් 240, 250, 270 වගේ මිලකට. අපි මේ කියන රුපියල් 215 ට සහල් තොග දුන්නත් ප්‍රධාන මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් තුන්දෙනාට දවසකට කෝටි දහයකට අධික ලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 100 ක ලාභයක් ලැබෙනවා. ඒ මහා පරිමාණ නිෂ්පාදකයෝ තුන්දෙනාට රුපියල් 215 ට සහල් තොග දුන්නත් එක්කෙනෙකුට දවසකට මිලියන 30ත් 40ත් අතර මුදලක් ලැබෙනවා. එහෙම දෙන්න පුළුවන්කම තියෙද්දි තමයි රුපියල් 250 ට, 260 ට, 270 ට හාල් වික්කේ. එතකොට ඒ කියන්නේ සාධාරණ ලාභයක් තියාගෙන 215 ට දෙන්න පුළුවන්කම තියෙද්දී තවත් රුපියල් 40 ක් 50ක් හාල් කිලෝවකින් ලාභ

තියාගන්න ගිහින් මේ මහා පරිමාණ මෝල්කාරයෝ තුන්දෙනා දවසකට රටේ මිනිස්සුන්ගේ සල්ලි කෝටි 5 ගාණේ මංකොල්ල කාලා තියනවා. ඊයේ ඩඩ්ලි සිරිසේන මහත්තයා පිළිගත්තා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙක් දවසකට අඩුම සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 4 ක ප්‍රමාණයක් මුදා හරිනවා කියලා. එතකොට ඒක රුපියල් 50කින් වැඩිකරලා බැලුවායින් පස්සේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් දවසකට කෝටි 4 ක් 5 ක් පාරිභෝගිකයින්ගෙන් පහුගිය දවස් 10ට මංකොල්ල කාලා තියනවා. මෙච්චර මේ රටේ මිනිස්සු ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා තියෙද්දී මේ ව්‍යාපාරිකයෝ තුන්දෙනෙක් දවසකට කෝටි 5 ගාණේ පහුගිය දවස් දහයේ මංකොල්ල කෑවා. දවස් 10ට කෝටි 500ක්, රුපියල් මිලියන භාගයක් කුස්සියේ තිබුණු සල්ලි මංකොල්ල කෑවා. හාල් කිලෝ එක අරන් යන්න බැරිව රටේ මිනිස්සු බලන් ඉද්දි මේ තුන්දෙනා ඒ සල්ලි මංකොල්ල කෑවා. මේ ගැන වහාම අවධානය යොමු කරන්න කියලා රටේ ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අනිත් කාරණය තමයි ඩඩ්ලි සිරිසේන මහත්තයා පිළිගන්නවා ඔහු මෙච්චර දවසක් පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළා කියලා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමෙන්. ඔහු චෝදනා කරනවා රුපියල් 270 ට ඊයෙත් නිව් රත්න අධිපති තුමා සහල් කිලෝවක් වික්කා කියලා. ඔන්න ඩඩ්ලි සිරිසේන මහත්තයා පිළිගන්නවා තමන් වික්කා කියලා. ඒ වගේම ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා මිත්‍රපාල මහත්තයා රුපියල් 270ට හාල් වික්කා කියලා. ඔන්න පාරිභෝගික අධිකාරියට දැන් අවස්ථාව තියෙනවා ඒ ප්‍රකාශ මත මේ පුද්ගලයෝ දෙන්නාට විරුද්ධව නඩු පවරන්න. එන්න එපා අහිංසක කඩ හිමියෝ වටලන්න, එන්න එපා අහිංසක සිල්ලර වෙළෙන්දෝ වටලන්න, එන්න එපා පොඩි හාල් හිමියෝ වටලන්න. පාරිභෝගික අධිකාරිය මේ දවස් දහයට වැටලුවේ අහිංසක කඩ හිමියොත් අහිංසක කුඩා මෝල් හිමියොත් පමණයි. ඔන්න ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ ප්‍රකාශය පදනම් කරගෙන ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්න පහුගිය දින 10ක කාලය ඇතුළතදී රජයේ උපරිම සිල්ලර මිල ඉක්මවා හාල් අලෙවි කිරීම සම්බන්ධයෙන්. අනිත් ප්‍රධාන කාරණය තමයි ඩඩ්ලි සිරිසේන මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම ප්‍රකාශයට පත් කළා තවත් මාස තුනක් යනකම් මේ මිලට සහල් වෙළඳපළට ලබා දෙනවා කියලා. හැබැයි ආණ්ඩුවට කියනවා මේ කතා විශ්වාස කරන්න එපා, ඩඩ්ලි සිරිසේන මහත්තයා මීට මාස අට නවයකට කලින් මයික් එක ඉස්සරහට ඇවිත් කිව්වේ 115 ට හාල් දෙනවා කියලා. ඩඩ්ලි සිරිසේන මහත්තයා ආයෙත් මාස අටකට පස්සේ මයික් එක ඉස්සරහින් ආයෙත් මතු වෙලා කියන්නේ දෙසිය විස්සේ හාල් මිල. ඔය ඩඩ්ලි සිරිසේන මහත්තයා ඊළඟ වතාවේ මයික් එක ඉස්සරහින් මතු වෙන්නේ හාල් 340 විතර කරලා. ඒ හින්දා මේ කතා විශ්වාස කරන්න එපා. එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වාදෙන කරුණු කාරණාද සරල ලෙසින් බැහැර කළ හැකි ඒවා නොවන බව පෙනීයයි. මෙරට පාරිභෝගිකයාගෙන් නැතහොත් බත්කන ජනතාවගෙන් පිල්ලි ගසා ඇති මුදල පිළිබඳව යම් විපරමක් කරන්නට වගකිවයුත්තන් අදහස් කරන්නේ කාලසීමාවේ මේ මහා පරිමාණ මෝල් නඩය සහල් වෙළඳාමෙන් කොතරම් අසීමිත ලාබයක් උපයා ඇතිද යන්න හෙළිදරව් වනු ඇත.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment