ඩයනට රට යන්න තහනම්

113

සමගි ජනබලවේගය පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වී පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එම පක්‍ෂයෙන් ඉවත් කරනු ලැබූ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පසුගිය 11 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

වලංගු විසා බලපත්‍රයක් නොමැතිව නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ යැයි චෝදනා එල්ල වි ඇති බි්‍රතාන්‍ය ජාතික පුරවැසියකු වන ඩයනා ගමගේ මහත්මිය ඇයට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලින් මගහැර රටින් පළායෑමේ සුදානමක් පවතින්නේ යැයි සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ කණ්ඩායමක් කළ දීර්ඝ කරුණු දැක්වීමක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකි තහනම් නියෝගය නිකුත් කළේය.

ඇය යම් හෙයකින් විදේශ ගතවුවහොත් ඇයට එරෙහිව සිදුකරන සියලු විමර්ශන සම්පූර්ණයෙන්ම බිඳවැටී නීතියේ ආධිපත්‍යයට තර්ජනක් එල්ලවීමේ අනතුර මතුවන බවත් පවසමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු අගතියට පත් පාර්ශ්වය නියෝජනය කළ නීතිඥ මඬුල්ල කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තම අධීකරණය නිකුත් කළ එම තහනම් නියෝගය වහාම ෆැක්ස් මාර්ගයෙන් ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසට ද අධිකරණ ප්‍රධාන ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය. එදිනට පෙර ඇයට විදේශ ගතවීමේ අවශ්‍යතාවක් ඇතිනම් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වා ඒ සඳහා අවසර ලබාගැනීමේ හිමිකම රාජ්‍ය ඇමැතිනියට ඇතැයි ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment