ඩයනාට එරෙහිව අල්ලස් කොමිසමත් විමර්ශන අරඹයි

15

අධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය, සිය වරප්‍රසාද භුක්ති විඳිමින් මෙරට රාජ්‍ය දේපළ අවභාවිත කර දූෂණයන් සහ වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

2020 අගෝස්තු මාසයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගත් ඇය පසුව රාජ්‍ය ඇමැතිනියක ලෙසද කටයුතු කළාය. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිව ඇය මෙලෙස වංචා සහගතව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයේ මුදල් (පොදු දේපළ) අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය අල්ලස් කොමිෂමට කළ පැමිණිල්ලකට අනුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝගයෙන් මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය ඇමැති වරප්‍රසාද අහිමි වුවද, ඇය මන්ත්‍රී හා රාජ්‍ය ඇමැති වැටුප් ලබාගැනීම, නිල රථ හා ඉන්ධන ලබාගැනීම, ආරක්ෂක භට පිරිස ලබාගැනීම, නිල කාර්යාල හා නිල නිවාස ලබාගැනීම මෙන්ම රියැදුරන් හා කාර්ය මණ්ඩලය ද ලබාගනිමින් රාජ්‍ය දේපළ අවභාවිතයක් මෙන්ම දූෂණ වංචාවන් ද සිදුකර ඇතැයි එම සංවිධානය සිය පැමිණිල්ලෙන් කියා සිටී.

ඩයනා ගමගේ මහත්මිය සිදුකර ඇති දේපළ හා මුදල් අවභාවිතය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කර එම මුදල් නැවත රජයට ලබාගන්නා ලෙසත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ට සහ ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරියට අධිකරණ ක්‍රියාමාර්ගයකින් දඬුවම් ලබාදෙන ලෙසත්, අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment