ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කරයි

156

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත් ඒ නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බවට නිගමනය කරන ලෙස හා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂධ ලක්මාල් අනිල් හේරත් මහතා විසින් ගොනු කර ඇති රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (18දා) තීරණය කළේය.

ඩයනා ගමගේ මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට එම පෙත්සම සම්බන්ධයෙන් නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසට ද සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය. ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් පෙත්සම්කරු තම අධිකරණයෙන් ඉල්ලා ඇති සහන සහ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව හමුවේ සලකා බැලීම සුදුසු බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම නියෝග කළේය. ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසිභාවයක් හිමි තැනැත්තියක නොවන බවත් බි්‍රතාන්‍ය පුරවැසියකු වන ඇය රටේ පැවැත්ම සම්බන්ධයෙන් තීන්දු තීරණ හා නීති අණපනත් සකස් කරනා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම නුසුදුසු මෙන්ම එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු එමගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය මෙන්ම මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා සමගි ජන බලවේගය පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් , එම කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු හිටපු සාමාජිකයන් හා නීතිපතිවරයා ඇතුළු 15 දෙනකු නම් කර තිබිණී.

එබැවින් ආගමන විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ඇගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සියලු ලේඛන කැඳවා විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ද පෙත්සම්කරු එමගින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment