ඩයනා අල්ලන්න වරෙන්තු ඕනෑ නෑ!

209

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් සී.අයි.ඩීයට කියයි

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් මේ වනවිට අධිකරණයට ඉදිරිපත්ව ඇති ලේඛන අනුව පැහැදිලි වන බවත් එකී වැරදි ආගමන විගමන පනත අනුව වැරදි බැවින් වරෙන්තු නැතිවම ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09 දා) විවෘත අධිකරණය හමුවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවසීය.

එම නිසා ඊට වරෙන්තු නිකුත්කිරීමක් අවශ්‍ය වන්නේ නැතැයි ද මහෙස්ත්‍රාත්වරයා කීවේය.

එකී වැරදි සම්බන්ධයෙන් ආගමන විගමන පනත යටතේ සුදුසු ලෙස කටයුතු කිරීමේ හැකියාව විමර්ශන නිලධාරීන්ට ඇතැයි ද මහෙස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය විසින් එලෙස ව්‍යාජ ලෙස උප්පැන්න සහතික දෙකක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි නොවේ දැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටි අතර ඔවුහු අධිකරණය නැඟූ එම ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් ලබා නොදී නිහඬව සිටියහ.

සාමාන්‍ය පුද්ගලයකු එවැනි වැරැද්දක් සිදු කළේ නම් වහාම ක්‍රියාත්මක වී ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමට උත්සුක වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම රාජ්‍ය ඇමැතිනිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනුයේ ඇය නීතිය හමුවේදී සුවිශේෂී වරප්‍රසාද ලත් තැනැත්තියක් නිසා දැයි පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විමසා සිටියේය.

රටේ පොදු ජනතාවගේ මුදලින් වැටුප් ඇතුළු සියලු දීමනා ලබමින් වරප්‍රසාද බුක්තිවිඳින එම රාජ්‍ය ඇමැතිනිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට උත්සුක වන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝගයක් කරන්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි පෙන්වාදෙමින් සමාජ ක්‍රියාකාරිකයකු වන ඔසල ලක්මාල් හේරත් මහතා විසින් ගොනුකර තිබූ එම පුද්ගලික පැමිණිල්ල ලබන 02 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment