ඩයනා කුමරියටද ප‍්‍රතිකාර කළ සම්මානනීය වෙදැදුරාණෝ!

348

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය බි‍්‍රතාන්‍යයට හඳුන්වාදුන් වෛද්‍යවරයා ලෙස ප‍්‍රකට වෛද්‍ය ශාන්ත ගොඩගම මහතා බි‍්‍රතාන්‍යයට පැමිණියේ වසර 1979දී ය. වෛද්‍ය ඇන්ටන් ජයසූරිය මහතාගෙන් කටු චිකිත්සාව උගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්ද වූ ඔහු එංගලන්තයේ ”ටිරින්හැම්” වෛද්‍ය මධ්‍යස්ථානයට ශ‍්‍රී ලංකාවේ සිට ගෙන්වා ගත් පළමු ආයුර්වේද වෛද්‍යවරයා ය. ඒ වනවිට බටහිර වෛද්‍ය ක‍්‍රමවලින් තොරව ප‍්‍රතිකාර කළ එකම වෛද්‍ය මධ්‍යස්ථානය වූයේ එයයි.

ආයුර්වේද වෛද්‍ය සංගමය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය බි‍්‍රතාන්‍යයේ පිහිටුවීමට කටයුතු කරමින් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය බි‍්‍රතාන්‍යයේ ප‍්‍රචලිත කිරීමට ඔහු මහා වෙහෙසක් ගත්තේය. ඉංග‍්‍රීසි ජාතිකයින්ට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පහසුවෙන් දැන ගැනීම සඳහා ”හෑන්ඞ් බුක් ඔෆ් ආයුර්වේද” නමින් කුඩා පොත් පිංචක්ද ඔහු සකස් කළේය. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ඉතා සරලව එහි විස්තර කොට තිබේ. එය ඉංග‍්‍රීසි ජාතිකයින් මිලට ගත්තේ උණු කැවුම් මෙණි. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය සේවයට අනුයුක්ත කර ගැනීම සඳහා මේ දිනවල බි‍්‍රතාන්‍ය රජය වෛද්‍ය ගොඩගම මහතාගෙන් උපදෙස් ගනිමින් සිටියි. බි‍්‍රතාන්‍ය වෛද්‍ය පාලන අධිකාරියේ ආයුර්වේදය සම්බන්ධයෙන් උපදේශකවරයා වන්නේ ද ඔහුයි. ඉන්දියාවෙන් ”ග්ලෝරි ඔෆ් ඉන්දියා” සහ ”භාරතීය ගෞරව” යන සම්මානත්, මහා බි‍්‍රතාන්‍යයෙන් ”ආයුර්වේද රතන්” සම්මානයත් ඔහුට පිරිනමා තිබෙනවා.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ගැන දැන ගැනීම සඳහා කීපවිටක්ම බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ගොඩගම මහතාව බකිංහැම් මාලිගයට කැඳවා තිබුණා. ගොඩගම මහතා ලන්ඩන් නුවර පවත්වා ගෙන යන ”හේල් ක්ලිනික්” වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේද චාල්ස් කුමරුයි. ගොඩගම මහතාගෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඩයනා කුමරිය ද නිතර මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණීම පුරුද්දක් කොට ගෙන තිබුණා. ඩයනා කුමරිය මිය යෑමට පෙර අවසන් වරට කියවූයේ ගොඩගම මහතාගේ ”හෑන්ඞ් බුක් ඔෆ් ආයුර්වේද” පොත බව ප‍්‍රකට කරුණක්. මහමඟ ඇවිදින හිඟන්නාගේ පටන් මැති, ඇමැතිවරු, හොලිවුඞ් නළු නිළියන් සහ රජ පවුලේ සාමාජිකයින් ද වෛද්‍ය ගොඩගම මහතාගෙන් ප‍්‍රතිකාර ලබා ගන්නවා.

පත්තු බැඳීම්, තෙල් බෙහෙත් ගැල්වීම් ආදියේදී යම් ගැටලූ ඇති වුවත් බාධක අවම කර ගනිමින් ප‍්‍රතිකාර කරන බව ඔහු පවසනවා. ශ‍්‍රී ලංකාවේදී මෙන් පත අට එකට සිඳවා කසාය තම්බා ගෙන පානය කිරීම බටහිර රටකදී අපහසු නිසා බොහෝ බෙහෙත් ද්‍රව්‍ය කුඩක් ලෙස සාදා උණු ජලයෙන් දියකර පානය කිරීමට සකසා ඇති බවයි ඔහු පවසන්නේ.

බි‍්‍රතාන්‍ය තුළ සහතික නොලත් ශාක ඖෂධ පාවිච්චි කිරීමට නොහැකි බවත් ඔහුගේ උපදෙස් පිට මෙතෙක් ශාක ඖෂධ පන්සීයකට වැඩි ප‍්‍රමාණයකට සහතික ලබා ගැනීමට හැකිවූ බව ඔහු පවසන්නේ ආඩම්බරයෙන්.

ශ‍්‍රී ලංකාව තුළ කංසා නීති ගත කළ යුතු බව ඔහු පවසනවා. ඓතිහාසිකව ආයුර්වේදයට හිමිවී තිබූ කංසා පැළෑටිය දැන් ආයුර්වේදයට අහිමිවී ඇති බවත් එබැවින් එහි ඇති ගුණය රෝගීන්ට ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි ඔහු පවසන්නේ.

එය වේදනා නාශකයක් ලෙස පාවිච්චි කළ හැකි බවත් විශේෂයෙන්ම පිළිකා රෝගය යම්තාක් දුරට මර්දනය කර ගැනීම සඳහාත් භාවිතා කළ හැකි බව ඔහුගේ මතයයි. බටහිර වෛද්‍යවරුන් කංසාවල ඖෂධීය ගුණයක් නැති බව කලින් ප‍්‍රකාශ කර සිටියත් වසර දෙකකට පමණ පෙර කරන ලද පරීක්ෂණවලින් කංසාවල ඖෂධීය ගුණ 15කට වැඩි ප‍්‍රමාණයක් තිබෙන බව ඔවුන්ම ප‍්‍රකාශ කර තිබීම සතුටට කරුණක් බවත් ඔහු පවසයි.

වෛද්‍ය අනුමැතිය යටතේ බි‍්‍රතාන්‍ය තුළ කංසා භාවිතය දැන් නීති ගත කර ඇති හෙයින් එයට හොඳ වෙළෙඳ පොළක් විවෘත වී ඇති බවත් එහි ඵල නෙලා ගැනීමට ශ‍්‍රී ලංකාව සූක්ෂමව කටයුතු කළ යුතු බවත් එය ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගත හැකි හොඳ මාර්ගයක් බවත් ඔහුගේ අදහසයි.

ආයුර්වේද ක‍්‍රමයෙන් කොවිඞ් 19 රෝගය පාලනය කර ගැනීමටත් වළක්වා ගැනීමටත් හැකි බව ඔහු පවසයි. ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා ඔහු දැනටමත් බෙහෙතක් නිපදවා ඇති බවත් එය ලන්ඩන් බෞද්ධ විහාරයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු බොහෝ දෙනෙකුට ලබා දී ඇති බවත් එය ලබා ගත් කිසිවෙකුට මෙතෙක් කොවිඞ් රෝගය වැළඳී නැති බවත් ඔහු පවසයි. රෝගය වැළඳුනු අයට දීම සඳහා ද බිං කොහොඹ ආදිය යොදා ගනිමින් වෙනත් බෙහෙතක් ද ඔහු නිපදවා ඇති බවත් එය ලබා ගත් අය ද පූර්ණ සුවය ලබා ගත් බවත් ඔහු පවසයි.

වෛද්‍ය ශාන්ත ගොඩගම මහතාගේ සේවය අගය කරනු වස් ඉන්දියාවෙන් සහ බි‍්‍රතාන්‍යයෙන් සම්මාන හිමිවී තිබුණ ද මෙතෙක් ශ‍්‍රී ලංකා රජයෙන් ඔහුට අගැයීමක් නොකළ බව ඔහු කියා සිටියේ කනගාටුවෙනි. ඔහු සේවය කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙන බවත් සෑම අවස්ථාවකම ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට තමාගෙන් විය යුතු සේවාවන් නොපිරිහෙලා ඉටු කළ බවත් ඔහු පවසයි.

මෙම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙන යූටියුබ් චැනලයෙන් සම්පූර්ණයෙන්ම නැරඹිය හැක.

ඩයනා කුමරියට ද ප‍්‍රතිකාර කළ සම්මානනීය වෙදැදුරාණෝ! – YouTube – https://www.youtube.com/watch?v=HZ53_XLW9f4&ab_channel=SujeevaNivunhella

සුජීව නිවුන්හැල්ල
ලන්ඩනයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment